1970 දී පාර්ලිමේන්තුවෙන් බැහැරව ව්‍යවස්ථාව සකස් කළාක් මෙන් නව ව්‍යවස්ථාව සකස් නොකරන බවත්, පාර්ලිමේන්තුව යටතේ සියලුම පක්ෂ එක් කරගනිමින් එය සිදුකිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සියලු දෙනාගේ අදහස් එකට එක්කර ගතයුතු බැවින් මෙය පාර්ලිමේන්තුවට තුළට ගෙන ආ බවත්, නව ව්‍යවස්ථාව සැකසීමට විදේශ උපදේශකවරුන් කිසිවෙකු නොගෙන්වන බවත් ඔහු කීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (09දා) පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කරමිනි.
මේ සම්බන්ධයෙන් තමා අගමැතිවරයා ලෙස සියලුම පක්ෂ සමග සාකච්ඡා කර ඇති අතර, ඔවුන් සියලු දෙනාගේ අදහස් ලබාගෙන රටට හොඳ ව්‍යවස්ථාවක් සකස් කරගැනීමට අවශ්‍ය බවද අගමැතිවරයා කීය.
එමෙන්ම පවතින ව්‍යවස්ථාවේ සංශෝධන සිදු නොකරන්නේ තවදුරටත් එය සංශෝධනය කිරීමට පවා නොගැළපෙන නිසා බවත්, මෙම කාර්යයේදී සියලු දෙනා එක්ව මෙය සිදුකිරීම වැදගත් බවත් අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, ඩී.එම්. ස්වාමිනාදන්, විජයදාස රාජපක්ෂ හා පාඨලී චම්පික රණවක යන මැති ඇමතිවරුන්ගේ සමූහ යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කෙරුණු අතර, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය ස්ථිර කළේය.
මේ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය හෙට (12දා) දිනයේදී පැවැත්වීමට නියමිතය.