මසක පමණ කාලයක් ගෙවී ගොස් තිබියදීත් රටේ දකුණු ප්‍රදේශයේ පැතිර යන වසංගත තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීමෙන් හා දිනෙන් දින දරුවන් මියයෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ වසංගත රෝග පාලනයට රජයේ වැඩපිළිවෙළක් නොමැතිකම යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.
මේ වනවිට ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල පැතිර යමින් පවතින උණ තත්ත්වය හේතුවෙන් දරුවන් 11 දෙනෙක් මියගොස් ඇති බවත් කරාපිටිය රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයට තවදුරටත් දරවන් භාරගත නොහැකි ලෙස එය පිරී පවතින බවත් මෙම තත්ත්වයෙන් පැහැදිලි වන්නේ වසංගත රෝග තත්ත්වය පාලනය කිරීමට රජයට හා සෞඛ්‍ය අංශවලට කිසිදු විධිමත් වැඩපිළිවෙළක් නොමැති වීම බවද හෙතෙම සඳහන් කරයි.
රජය ක්‍රමානුකූලව සෞඛ්‍ය සේවාව පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළක නිරත වනවා මිස ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීමට හෝ මෙවන් වසංගත තත්වයන් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු නොකර බවත් පාසල් දරුවන් දඩමීමා කරගනිමින් ව්‍යාජ සෞඛ්‍ය රක්ෂණයක් හඳුන්වා දී රක්ෂණ සමාගම් වෙත මිලියන ගණන් රජයේ මුදල් පොම්ප කරන අතර පෞද්ගලික රෝහල් ප්‍රවර්ධනය කරමින් සිටින බවත් රජය එම මුදල් වැය කර රජයේ ළමා රෝහල් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගත්තේ නම් රටේ සියලුම දරුවන්ට එම රෝහල් මගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සැකසෙන අතර මෙවැනි වසංගත අවස්ථාවන්හි නිසි අයුරින් මුහුණ දීමටද හැකියාව ලැබෙන බවද ලේකම්වරයා පෙන්වා දෙයි.
පවතින තත්ත්වය තුළ ව්‍යාජ ප්රචාරකවාදී වැඩපිළිවෙළ වෙනුවෙන් ජනතා මුදල් වැය නොකර රටේ මහජන සෞඛය නගාසිටුවීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු සලසන ලෙස හෙතෙම රජයෙන් ඉල්ලා සිටියි.