ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන 125ක මුදලක් යෙදවීමට තීරණය කර ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.
දිවයින තුළ යම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණ දීම සඳහා රුපියල් මිලියන 15,000ක ප්රතිරක්ෂණයක් සිදුකර ඇති අතර, එම රක්ෂණය යටතේ මෙම වන්දි මුදල් ලබාදීම සිදුකෙරේ.
එමෙන්ම මෙම ප්රතිරක්ෂණයෙන් මේ වසර සඳහා රුපියල් මිලියන 816ක වාරිකයක් ගෙවීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ප්රතිරක්ෂණය යටතේ රුපියල් බිලියනය දක්වා ආපදා ජාතික රක්ෂණ අරමුදලෙන් මුදල් ගෙවන අතර, ඊට වැඩි මුදල් ප්රතිරක්ෂණය විසින්ම ගෙවනු ලැබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවට ආපදා සහන ලෙස විදෙස් ආධාර ලැබෙන බැවින් මෙම වන්දි මුදලට වඩා වැඩි මුදලක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි ආණ්ඩුව විශ්වාස කරන බවද ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් 'අද'ට පැවසීය.