මුලතිව් වට්ටුවාක්කල් ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 600කට අධික ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන්ට ලබාදෙන මෙන් ඉල්ලා ඊයේ (22දා) වට්ටුවාක්කල් පාලම මත සංවිධානය කෙරුණු උද්ඝෝෂණයකදී වැසියන් උණුසුම්ව හැසිර ඇති අතර, මිනින්දෝරු වාහනයකටද අලාභහානි ඔවුන් විසින් සිදුකර තිබේ.
වට්ටුවාක්කල් නාවික හමුදා කඳවුර ඇතුළු භූමිය සාමාන්‍ය ජනතාවට ලබාදෙන මෙන් ඉල්ලා අවස්ථා කිහිපයකදීම වට්ටුවාක්කල් වැසියන් පිරිසක් උද්ඝෝෂණය කළ අතර ඊයේ දිනයේද වට්ටුවාක්කල් පාලම ඇතුළු මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් වෙනුවෙන් මිනින්දෝරු කණ්ඩායමක් පැමිණි අවස්ථවේදී මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලංගම් යන අයද මෙම උද්ඝෝෂණයට සහභාගි වූ අතර, එහිදී සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පොලීසියට හා නාවික හමුදාවට විරෝධය පාමින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගය වැටී ඇති වට්ටුවාක්කල් පාලම මත හිඳ ගනිමින් මාර්ගයේ වාහන ගමනා ගමනය නැවතූ අතර, පසුව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විසින් පඹයෙකු නාවික හමුදා කඳවුරු පිවිසුම් දොරටුවට සමීපයට රැගෙන ගොස් ගිනි තැබීය.
අනතුරුව එම අවස්ථාවට පැමිණි මිනින්දෝරුවන්ට හා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් අංශ නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් පැවැති අතර, එහිදී එම නිලධාරීන් විසින් උද්ඝෝෂකයන්ට දැනම් දී ඇත්තේ අදාළ නාවික හමුදා කඳවුරු භූමියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මෙතෙක් අවසන් නොමැති අතර, වැඩි ඉඩම් ප්‍රමාණයක් රජයේ ඉඩම් බැවින් අවශ්‍ය නීතිමය පියවර ඉදිරියට ගන්නා බවටය.
නමුත් එහිදී උද්ඝෝෂකයන් උණුසුම්ව හැසිරෙමින් මිනින්දෝරු වාහනයකට පහර දී වාහනයට අලාභහානි සිදු කොට ඇති අතර, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වාහනයකටද ගමන් කිරීමට නොදී සිට ඇත. පසුව මුලතිව් පොලීසියේ මැදිහත් වීමෙන් අදාළ ඉඩම් ගැටලුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කොට විසඳුමක් ලබාගන්නා ලෙසට දැනුම් දුන්නේය.