දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක පැතිර පවතින වකුගඩු රෝගයට ආයුර්වේද ප්‍රතිකාර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම සඳහා පර්යේෂණ රෝහලක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. මැදවච්චිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම පර්යේෂණ රෝහල අගෝස්තු මස 06 දින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් විවෘත කිරීමට නියමිතය.
දැනටමත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝගීන් 2487ක් ලියාපදිංචි වී ඇති අතර, මාසිකව රෝගීන් 600කට අධික සංඛ්‍යාවකට ආයුර්වේද සේවාව තුළින් ප්‍රතිකාර ලබාදෙයි.
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාවද විධිමත් කිරීමට පියවරගෙන ඇති අතර, ඒ අනුව උතුරු මැද පළාතේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය මාධ්‍යස්ථාන ස්ථාපිත කර ආයුර්වේද සෞඛ්‍ය සේවාව ගමට ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යවරයා සැලසුම් කර තිබේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ එවැනි මධ්‍යස්ථාන 08ක් ස්ථාපිත කර ඇති අතර, ගලෙන් බිඳුණු වැව සහ තලාව නව සෞඛ්‍ය මධ්‍යස්ථාන ලබන 06 දා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කිරීට නියමිතය. මෙම වසර තුළදී නාච්චදූව, තිරප්පනේ සහ රඹෑව යන ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානද ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
මෙම මධ්‍යස්ථාන මගින් පෝෂණය, ආරක්ෂිත ජලය සැපයීම, මාතෘ සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය ඇතුළු කරුණු 17 යටතේ සෞඛ්‍ය සේවාවන් සිදුකෙරේ.