ශ්‍රී ලංකාවේදී විදේශිකයන්ට සිදුකරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් පිළිබඳව එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
අදාළ විමර්ශන කටයුතු සඳහා මුලින්ම ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර, පසුව එය පංච පුද්ගල කමිටුවක් බවට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කටයුතු කර ඇත.
මීට අමතරව අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගෙන්ද ඉල්ලීමක් කර තිබේ.
පත්කර තිබෙන පංච පුද්ගල කමිටුවේ සභාපතිත්වයට සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පත්කර ඇත. එහි සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මි සෝමතුංග, රසායනාගාර සේවා අධ්යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ, විශේෂඥ වෛද්‍ය පරිපාලන වෛද්‍ය රාජප්රිය බාලසූරිය, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (විමර්ශන) රෝහණ සිල්වා යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.
පත්කළ කමිටුව විසින් කඩිනමින් පරීක්ෂණයක් සිදුකර අදාළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේද යන්න පිළිබඳව 'අද' පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාට ලිපියක් එවමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවයි. ඒ පිළිබඳව අද (25දා) දිනයේදී පොලිස්පතිවරයා විසින් තීරණයක් ගැනීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.
මේ අතර, කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහල්වල සිදුකර ඇති වකුගඩු ජාවාරමට වතුකරයේ බොහෝ පිරිසක්ද සම්බන්ධ කරගෙන ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය.
වතුකරයේ තරුණ පිරිස් මෙම ජාවාරමට සම්බන්ධ කරගෙන ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, වකුගඩු ජාවාරමේ නිරත පුද්ගලයන් වතුකරයේ තරුණයන් මුළාකර ඔවුන්ගේ වකුගඩු ලබාගෙන ඇති බවත් රාධක්‍රිෂ්ණන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ආගරපතන, ඩයගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේය.
වකුගඩු යනු මිල කළ නොහැකි දෙයක් බවත්, වංචනිකයන්ට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ / චාමර සම්පත්