ලක්ෂ දාහතක් වූ ආබාධිත පුද්ගලයින් පුංචි ඡන්දය වර්ජනයේ
මෙරට ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉල්ලීම්වලට කිසිදු රජයක් අවධානය යොමු නොකිරීම නිසා මෙවර පළාත් පාලන මැතිවරණය වර්ජනය කරමින් ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට තීන්දු කර ඇතැයි රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව සඳහන් කරයි.
රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුවේ සභාපති එච්.එම්. ලාල් පුෂ්පකුමාර සහ සාමාජික එල්.ආර්. මදුසංක යන දෙදෙනා අද (09දා) දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළහ.
මෙරට දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හැත්තෑවක් පමණ දෙනා සිටින බවත්, තවත් තිස් දෙනකු පමණ ළඟදීම සිය උපාධිය අවසන් කිරීමට නියමිතව සිටින අතර, 2013 වසරේ සිට මෙම දෘෂ්ටි ආබාධිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලීම් කළද මෙතෙක් කිසිදු පාලන බලධාරියෙකු හෝ නිලධාරියෙකු අවධානය යොමු නොකිරීම නිසා දෘශ්‍යාබාධිත උපාධිධාරීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් ඔවුහු පවසති.
සියලුම අධ්‍යාපන සුදුසුකම් සපුරා සිටියදී හා රැකියා සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරා තිබියදී මෙරට ආබාධිත පුද්ගලයන්ට රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරිය ඉටු නොකිරීම නිසා බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත්, මෙරට රාජ්‍ය නිලධාරීන් මෙරට ලක්ෂ දාහතක් වූ ආබාධිත පුද්ගලයන්ට වඩා ආබාධිතයන් බව මාධ්‍ය හමුවේදී හෙතෙම සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දෘශ්‍යාබාධිත රැකියා විරහිත උපාධිධාරී එකමුතුවේ සාමාජික මධුසංඛ මහතා කියා සිටියේ දෘශ්‍යාබාධිත වේවා ආබාධිත වේවා මෙම පුද්ගලයන් කිසිදු අයෙකුගෙන් සිඟමන් යැදීමට සූදානම් නැති අතර, ඔවුන්ගේ හැකියාවට හා උගත්කමට රැකියාව ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
එනිසා එළැඹෙන පළාත් පාලන මැතිවරණය ලක්ෂ 17ක ආබාධිත සියලුම ජනතාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකර වැළකී සිටින ලෙස දිවයින පුරා විසිරී සිටින ආබාධිත සංගම් දැනුවත් කරමින් යන බවද හෙතෙම සඳහන් කෙළේය.
මෙම රැකියා අපේක්ෂකයන්ට සාධාරණයක් ඉටු නොකළහොත් ඉදිරියේදී ආණ්ඩුවට මීට වඩා බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බවත්, ඒ සඳහා රටේම සිටින ආබාධිත පුද්ගලයන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පවා සංවිධානය කර විශේෂ විරෝධතා මාලාවක් රට පුරා දියත් කරන බවද මදුසංඛ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



