වියළි කාලගුණ තත්ත්වය නිසා ඇති වූ විදුලි අර්බුදය අවසන් වනතුරු 10% ක විදුලිය ඉතිරි කරදෙන ලෙසට පාරිභෝගිකයන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ විදුලි පරිභෝගිකයන් ලක්ෂ 55න් 338 දෙනෙකු පමණක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
10%ක විදුලිය ඉතිරි කරන්නන්ට ප්රතිලාභ ලබාදීමට විදුලි බිලෙන් තවත් 10%ක් අඩු කිරීමට විදුලිබල මණ්ඩලය වැඩපිළිවෙළක් සකස් කළ බවද ඔහු පවසා සිටියේය.
ඊයේ (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ඉල්ලීමට අනුව ජනවාරි මාසයේ විදුලි භාවිතයට වඩා 10% ක් අඩුවෙන් පෙබරවාරි මාසයේදී විදුලිය භාවිත කර තිබෙන්නේ පාරිභෝගිකයන් 338 දෙනෙකු පමණක් බවයි.
මේ අනුව හදිසි අවස්ථාවකදී රට වෙනුවෙන් ජනතාව ලබාදෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බවත්, එහෙත් මේ වසරේ ජූලි මාසය වනතුරු වියලි කාලගුණය පැවතියද අඛණ්ඩව විදුලිය ලබාදීමට මේ වනවිට සැලසුම් සකස් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
පසුගිය දිනවල ඇති වූ වර්ෂා තත්ත්වය නිසා යම් සහනයක් ලැබී තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය. මීට අමතරව සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත්, වහලවල් මත ඉදිකරන සූර්ය කෝෂවලින් ලැබෙන විදුලියේ අතිරික්ත ප්‍රමාණය විදුලි බල මණ්ඩලයට ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.
ජල විදුලිය 20%කට වඩා අඩු වුවහොත් රට බරපතළ තත්ත්වයකට පත්වන බවට අතීතයේදී අනාවැකි පළකළ බවත්, එහෙත් වසර 30කට පසු පවතින නියඟය නිසා ජල විදුලි නිෂ්පාදනය 7% දක්වා පහත වැටුණු බවත් අමාත්‍යවරයා පවසා සිටියේය. එහෙත් විනාඩියක් හෝ විදුලිය කප්පාදු නොකළ බවද හෙතෙම කියා සිටියේය.