ජලවිදුලිය සීමාවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ දිනක පාඩුව රුපියල් කෝටි 27 දක්වා ඉහළගොස් ඇති බව විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග දන්වාසිටියි.
එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ජනවාරි සහ පෙබරවාරි මාසයන්හී අලාභය රුපියල් මිලියන 16800 දක්වා ඉහළ ගොස් ඇති බවද එම ආරංචිමාර්ග තහවුරු කළේය.
විදුලිබල මණ්ඩලයේ මෙම පාඩුව පියවා ගැනීම සඳහා මේවනවිට මහජන බැංකුවෙන් රුපියල් මිලියන 11000ක ණය මුදලක් ලබාගැනීමට සුදානම්වන අතර, ඒසඳහා මේවනවිටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවද වාර්තාවේ.
කෙසේවෙතත් මේසම්බන්ධයෙන් 'අද' විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාගෙන් විමසූ අතර, ඔහු සඳහන්කරන ලද්දේ ජලවිදුලිය සීමාවීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිබලය නිෂ්පාදනය කිරීමේදී යම් යම් අපහසුතාවන්ට මුහුණදීමට සිදුවූ බවයි. එය කිසිසේත්ම විදුලිබල මණ්ඩයේ පාඩුවක් ලෙස සැලකිය නොහැකි අතර, ඒසඳහා මුදල් අමාත්‍යාංශයෙන් යම් මුදලක් ලබාදීමට එකඟවූ බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
නියං තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදාතත්ත්වයට ආපදා කළමනාකාර කමිටුව විසින් ගොවීන්ට සහන සලසනාක් මෙන් ජල සහ විදුලි ක්ෂේත්‍ර සඳහාද සහන සැලසීමට එම කමිටුව තීරණය කර ඇති බවත් සුරේන් බටගොඩ මහතා ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් මෙම කාලසීමාව තුළ ජලවිදුලි බලය 70%ක් පමණ නිපදවීමට හැකියාව ලැබුණද, මෙවර එය 7% දක්වා පහත බැස ඇතත් විදුලි කප්පාදුවක් නොකළ බැවින් බොහෝදෙනා අසත්‍ය කටකතා පතුරුවන බවද ලේකම්වරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා මෙසේද කීවේය.
'වර්ෂාව යම් ප්‍රමාණයකට ලැබෙමින් පවතින නිසා මේවනවිට විදුලිය නිපදවන ජලාශයන්වල ජල මට්ටටම ක්‍රමයෙන් ඉහළ යනවා. ඒනිසා විදුලි අර්බුදලයක් නැහැ. මෙම කාලසීමාව තුළ විදුලිය මෙගාවොට් පැය 1900ක් පමණ සැලසුම්කර තිබුණත්, අපිට ලැබුණේ මොගාවොට්පැය 700ක් පමණයි.
නියඟය නිසා විදුලියට බලපෑමක් වුණා. ඒක විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය නිසා උනදෙයක් කියල කියන්නද මේ හදන්නේ.
නියඟයේ බලපෑම නිසා ආපදා කළමනාකරණ කමිටුව ගොවීන්ටජලය සඳහා සහන සලසන්න තීරණය කළා වගේම විදුලිබල මණ්ඩලයටත් රුපියල් බිලියන 30ක මුදලක් ලබාදෙන්න තීරණය කළා. එය මුදල් අමාත්‍යාංශය හරහා අපිට ලැබෙනවා.
විදුලිබල මණ්ඩලය කොහොමත් ණය ගන්නවා. නමුත් මේ කාරණයට මහජන බැංකුවෙන් ණයක් ගන්න තීරණය කරලා නැහැ.
ජලවිදුලි මට්ටම 70% සිට 7% දක්වා අඩුවෙලත් විදුලි කප්පාදුවක් නොකරපු එක ගැන ඇතැම් පාර්ශ්වයන්ට ප්‍රශ්නයක් වෙලා.අපි ජනතාව ගැන හිතලා විදුලිය කප්පාදු නොකරන්න අවශ්‍ය පියවර ගත්තා. අනිත් රටවල මේවගේ තත්ත්වයක් ඇති උනොත් විදුලිය කප්පාදු කරනවා.
මේක අමාත්‍යාංශයේ ආකාර්යක්ෂමතාවය නෙවෙයි. අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාව නිසයි එහෙම කරන්න පුළුවන් උනේ. මේදේවල් බලාගෙන ඉන්න බැරි පිරිස විවිධ බොරුකතා කියනවා."