මගී ජනතාව අපහසුතාවට පත්වන ආකාරයට බස් රථවල සකස් කර තිබෙන ආසන තුනේ පේළි ඉවත් කරන ලෙසට ඔම්බුඩ්ස්මන්වරයාට සිදුකළ පැමිණිල්ලකට අනුව, ලංගම බස් රථවල තිබෙන ආසන තුනේ පේළි ආසන දෙකක් කිරීමට ඊයේ (05දා) ලංගම බලධාරීන් ඔම්බුඩ්ස්මන්වරයා ඉදිරියේ පොරොන්දු වූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
බස් රථවල සකස් කර තිබෙන ආසන තුනේ පේළිවලින් එක් ආසනයක් ගලවා දමන ලෙසට තම සංගමය ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිලි කර තිබූ බවත්, එම පැමිණිල්ල ඊයේ(05දා) විභාගයට ගත් බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට ලංගම බලධාරීන්ට, මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන්ට ආරාධනා කර තිබූ නමුත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් කිසිදු නියෝජිතයෙක් නොපැමිණි බවද පවසා සිටියේය.
එහෙත් පැමිණිල්ල විභාග කිරීමේ අවස්ථාවට පැමිණ ලංගම බලධාරීන් එක් ආසනයක් ඉවත් කිරීමට අමතරව ඉදිරියේදී බස් රථ ගෙන්වීමේදී ආසන දෙකේ පේළි සහිත බස් රථ පමණක් ගෙන්වන බවටත් පොරොන්දු වූ බවද රංජිත් විතානගේ මහතා සදහන් කළේය.
මීට අමතරව බස් රථවල ආසනවල පරතරය සහ පළල පිළිබඳව නව නීති සකස් කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවටත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළ බවද ඒ මහතා පවසා සිටියේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ අවස්ථාවට නොපැමිණි නිසා පෞද්ගලික බස් රථවල සකස් කර තිබෙනා ආසන තුනේ පේළියෙන් එක් ආසනයක් ඉවත් කරන ලෙසට ඉල්ලීමක් කරන බවද සභාපතිවරයා කියා සිටියේය.