ඉදිරියේදී මහ මැතිවරණයක් පැවැත්වුවහොත් එය අගෝස්තු මසදී පැවැත්වෙන අ.පො.ස. උ.පෙළ විභාගයට සැලකිය යුතු බාධාවන් ගෙන දෙන බැවින් ඉදිරි මහ මැතිවරණ කටයුතු විභාගයට බාධා නොවන සේ සැලසුම් කිරීමට වගබලාගත යුතු බව ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා තිබේ. 2015 සැප්තැම්බර් වනවිට නව පාර්ලිමේන්තුවක් පිහිටුවන බවට ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙන ප්රකාශය අනුව ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ ඉඩකඩ ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එම ලිපිය මාර්ගයෙන් ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ එසේ වුවහොත් මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්රචාරක කටයුතු හා මැතිවරණය පැවැත්වීම යන කටයුතු අගෝස්තු මාසය තුළදී සිදුවිය හැකි බවයි. මෙම තත්ත්වය 2015 අගෝස්තු මස දී පැවැත්වෙන අ.පො.ස. උ.පෙළ විභාගයට සැලකිය යුතු බාධාවන් ගෙනදෙන බැවින් ඉදිරි මහ මැතිවරණ කටයුතු විභාගයට බාධා නොවන සේ සැලසුම් කිරීමට වගබලාගත යුතු බවද එම ලිපියේ සඳහන්. මීට පෙරද බොහෝ මැතිවරණ ප්රචාරක කටයුතු හා මැතිවරණ පැවැත්වීම් ජාතික විභාග පැවැත්වෙන කාලසීමාවන් තුළ සිදුකිරීම හේතුවෙන් එකී විභාගවලට ඉදිරිපත් වූ දරුවන් දැඩි අසීරුතාවන්ට මුහුණ දුන් බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.