පසුගිය ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදල මංකොල්ලකෑමට ගත් උත්සාහයට එරෙහිව සිදුකළ විරෝධතාවේදී පොලිස් වෙඩි පහරින් මියගිය රොෂේන් චානකගේ ඝාතනය සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ වාර්තාව මෙතෙක් ප්රසිද්ධියට පත්කර නැතැයි අන්තර්සමාගම් සේවක සංගමය සඳහන් කරයි.
2012 මැයි 30 වැනිදා කටුනායකදී පැවැති විරෝධතාවට එල්ල කළ පොලිස් වෙඩි ප්රහාරවලින් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තවත් සේවකයින් කිහිපදෙනෙකු තුවාල ලැබූ බවද එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
මෙහි වගකීම භාරගෙන එවකට පොලිස්පතිවරයාව සිටි පුද්ගලයා ඉල්ලා අස් වූ බවත්, මීට අමතරව අදාළ ඝාතන සිද්ධිය සහ වෙඩි තැබීම සිදුකර සේවකයන්ට තුවාල සිදුකිරීම පිළිබඳව සොයාබැලීමට හිටපු ජනාධිපතිවරයා මහානාම තිලකරත්න කමිටුව පත්කළ බවත් ඒ මහතා පවසා සිටියේය.
මහානාම තිලකරත්න කමිටු වාර්තාව මාසයක් තුළ එළිදක්වා අදාළ වැරදි කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බවට පොරොන්දු විණි.
එහෙත් ඝාතනය සිදු වී වසර හතරක් ගත වී තිබුණත් මෙතෙක් කමිටු වාර්තාවක් එළිදක්වා නොමැති බවත්, මේ නිසා වර්තමාන ජනාධිපතිවරයා මේ පිළිබඳව සොයාබලා සුදුසු ක්රියාමාර්ග ගතයුතු බවත් හෙතෙම සඳහන් කළේය.