ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 නියෝජනය වන පරිදි, ඒ ඒ දිස්ත්රික්කයන්ට ආවේණික සුන්දරත්වය හා අනෙකුත් විශේෂිත කරුණු නිරූපණය කරමින් ටංකනය කෙරුණු නව රු.10/- කාසි කාණ්ඩය අද (17දා) නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළේය.
මෙම කාසි එකතුව ඇතුළත් ප්‍රථම කාසි ඇසුරුම හා මෙම අවස්ථාව හා සංකල්පය අළලා රචිත සමරු පුස්තකය මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම මෙහිදී සිදුවිය.
එමෙන්ම, මෙම කාසි නිර්මාණය කළ ශ්‍රී ලාංකීය නිර්මාණ ශිල්පීන් 17 දෙනා අගයමින්, ඔවුන් වෙනුවෙන් ත්‍යාග සහ සහතිකපත් ප්රදානය ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර, එම අවස්ථාවට මහ බැංකු අධිපතිවරයාද සහභාගි විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධිපතිවරු, සහකාර අධිපතිවරු ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලය මෙන්ම, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ප්රමුඛ අනෙකුත් අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.