ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ උමගක් තුළ රාවණා රජු සිහිසුන්ව සිටින බව ගුප්ත බලයකින් දැනගත් බව පවසමින් තරුණයන් 7 දෙනෙකු සමග පැමිණි 24 හැවිරිද මොරටුව කාන්තාවක් ඊයේ (29දා) එම උමගට ඇතුළු වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි නොසුන්සුන්තාවට පත්ව සිටියහ.
කරඳගොල්ල ප්‍රදේශයේ කැලෑ බිමක පිහිටි මෙම උමග අසලට අදාළ කාන්තාව ගමන් කළේ, තම කණ්ඩායමට අමතරව මාධ්‍යවේදීන් හා ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ උමාඔය සේවකයෙකුද සමගිනි.
පොලිස් නිලධාරින් කිහිපදෙනක්ද එම ස්ථානට පැමිණ සිටි නමුත් ඔවුන්ට උමං දොරටුව අසල නතර වන ලෙස පැවසු කාන්තාව සෙසු පිරිස සමග උමං කටෙන් ඇතුළු වූහ.
"මගේ නම නිශාරා ලක්ෂානි සිල්වා. අවුරුදු තුනක වගේ කාලයෙ සිට රාවණා රජ්ජුරුවන් ගැන මගේ පවුලේ අයට සම්බන්ධකම් තියෙන පිරිසක් ඉන්නවා කියලා මට පෙනුණා. ඒ පේන බලයෙන්. විශ්ණු දෙවි හමුදුරුවනුත් හැමදාම පේනවා. මිහිකත දේව මාතාවත්. ඊට අමතරව නාග දේව මාතාව. ඒ අයගේ පිහිටෙන් ඒ අයගේ ඉල්ලීමක් අනුව ඒ අය කරන්න කියපු දෙයක් පුංචි කාලේ ඉඳන් ඒ තියෙන සත්‍යයත් එක්ක ඇවිල්ල මේ වගේ අපි දන්නේ නැති පැත්තක මේ රාවණා රජතුමා ඉන්න සීමාව මේ නිල්දිය පොකුණෙන් එහාට යන මාර්ගය පෙන්වා තියෙනවා. ඒ කරන්න උවමනා ක්‍රියාදාමයන් කියා තිබෙනවා."
පිරිස යළි පැමිණෙතැයි අපේක්ෂාවෙන් උමං විවරය අසලට වී බලා සිටියද ඔවුන් පැමිණියේ වෙනත් උමං මාර්ගයකිනි. කෙසේ වෙතත් ඇය රැගෙන එන බව පැවසූ රාවණා රජුට අයත් බව කියන අත්භූත වස්තුවක් ඔවුන් සතුව නොතිබූ අතර, අදාළ කාන්තාව පැවසුවේ රාවණා රජුගේ බලයෙන් පෙන්වූ වෙනත් උමං කටකින් එළියට පැමිණි බවයි.
පාලිත ආරියවංශ/ ප්‍රසාද් රුක්මාල්