ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳාගැනීමට ජනාධිපතිවරයා විසින් පත්කළ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ තීරණය ලැබීමටත් පෙර කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමේ සැබෑ අවශ්‍යතාවක් ඔවුන්ට නොමැති බව පැහැදිලි වන්නේ යැයි මහින්ද පාර්ශ්වය අවධාරණය කරයි.
රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක් වූ බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ජ්‍යේෂ්ඨයන්ගේ කමිටුව තීරණ මත ඉදිරි තීන්දු තීරණ ගන්නා බවයි. අදාල තීරණ ජනාධිපතිවරයාට ලබා දුන් පසු පක්ෂයේ විධායක සභාව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය. එසේ නොමැතිව රාජිත සේනාරත්න මහතා පවසන අදහස් වලංගු නොවන බවද ඒ මහතා පැවසීය.
&එක් පුද්ගලයෙකුගේ අදහස් අපට වැදගත් නැහැ. ජනාධිපතිවරයා පත් කළ කමිටුවට අනුවයි අපි කටයුතු කරන්නේ. කමිටුව කටයුතු කරන්න ඕනි විධායක සභාවේ මතය අනුවයි. කමිටුව තීරණය කළොත් මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාවක් දෙන්නේ නෑ කියලා එතැන ඉඳලයි අපි තීන්දුවක් ගන්නේ. අද (19) මේ පිළිබඳව තීරණයක් ලැබේවි. රාජිත ඇමතිවරයාගේ කතාව වැරදියි. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ කමිටුව ක්‍රියාත්මක නොවන තැනට කටයුතු කරන්න සමහරුන්ට වුවමනාවක් තිබෙන බවයි. ඔවුන්ට අවශ්‍ය ශ්‍රී.ල.නීපය පරාජයට පත් කරලා එ.ජා.පය බලවත් කරන්නයි. අපි ඒ අරමුණට විරැද්ධයි.* යැයි මහ ඇමතිවරයා පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමත්‍යවරයා කළ ප්‍රකාශයත් සමග විහිළු සපයන්නා කවුදැයි හෙළි වන්නේ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පා.ම. මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු ආසන සංවිධායකයන් කැඳවා කමිටුවක් පත්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් බවත්, එහි තීරණය ප්‍රකාශයට පත්වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව පැවැසීම විහිළුවක් බවය.
&අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ඉල්ලුවේ නෑ. නාම යෝජනා ඉල්ලුවෙත් නෑ. අපි වෙනම ගමනක් ගියා. අපට එන්න කියලා සාකච්ඡා කරන්න කිව්වෙ ජනාධිපතිතුමා. දැන් කැබිනට් ප්‍රකාශක මෙහෙම කතාවක් කියනවා. මේක විහිළුවක්. තවදුරටත් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් අපට නැහැ...* යැයිද මන්ත්‍රීවරයා පැවසීය.