පසුගිය රජය සමයේදී මෙරට ආර්ථිකය පමණක් නොව, ජනජීවිතයද බරපතල ලෙස විනාශ වූ බව, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශ සංචාර සඳහා යනවිට 250ක පමණ පිරිසක් ඒ සඳහා රැගෙන ගිය බවද ඇය සඳහන් කරයි.
අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ දිවුලපිටිය ප්‍රදේශයේදී පසුගියදා පැවති කාන්තා සමුළුවකට එක්වෙමිනි.
”මහින්ද රාජපක්ෂ මහත්තයා පිටරට යනකොට එයාගේ ගෝලබාලයන් 250ක් විතර එක සංචාරයකට අරගෙන යනවා. ඇමරිකාව වගේ රටකට ගියාම එහේ හෝටලයක එක රැයක් ගතකරන්න ලක්ෂ 2ක් විතර යනවා. නවතින්නේ සුපිරි හෝටල්වල. ඒවායේ වියදම ගෙවන්නේ මේ රටේ අහිංසක ජනතාව. රාජකාරි ගමන්වලට මේ තරම් පිරිසක් ලෝකේ කොහෙවත් රාජ්‍ය නායකයින් ගෙනියන්නේ නැතුව ඇති. තමන්ගේ වටේ ඉන්න අය සතුටු කරන්න තමයි ඒ වගේ දේවල් කළේ.
හිටපු ජනාධිපතිතුමා සමඟ මගේ පෞද්ගලික තරහක් නෑ. නමුත් සිදුකළ විනාශය ගැන දුකක් තියෙනවා. රාජපක්ෂ පවුලේ සුඛ විහරණයට අහිංසක ජනතාවගේ මුදල් විනාශ කිරීමේ පාපයට අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න වෙනවා. අපායවල් 7ක යනවා ඒ පාපයට. රාජපක්ෂ පවුලේ උදවියගේ ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් 7ක් පාවිච්චි කළා.” යනුවෙන්ද සඳහන් කළාය.