රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මහාධිකරණයේ අධිකරණයක් වෙන්කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේදී ඊයේ (15දා) පැවැති ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ හමුවකදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මහාධිකරණයේ අධිකරණයක් රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධ නඩු විභාග කිරීම පැවරීමත්, දිනපතා නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමටත් මෙහිදී තීරණය කර තිබේ.
'හැටදෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය' මගින් සංවිධානය කරන ලද සත්‍යග්‍රහයක් ඊයේ(15දා) විහාරමහාදේවී උද්‍යානයේ පැවැති අතර, සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී මේ බව පැවසීය.
වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා විශේෂ අධිකරණයක්ආරම්භ කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමේදී එක් අමාත්‍යවරයෙකු එයට ව්‍යවස්ථා බාධා ඇති බව ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
එබැවින් විශේෂ අධිකරණ පිහිටුවීම සිදුනොකර මහාධිකරණයේ අධිකරණ එකක් හෝ දෙකක් ඒ වෙනුවෙන් නම් කිරීමට එකඟතාවට පැමිණි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපි අගමැතිතුමා සමග කතා කරලා තීරණයක් ගත්තා, අලුතින් ඉහළ අධිකරණයේ එකක් හෝ දෙකක් වෙනම රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ වංචා සම්බන්ධ නඩු අහන්න වෙන්කරන්න.
කැබිනට් එකේ එක ඇමතිවරයෙක් කිව්වා මේකට තියෙන ව්‍යවස්ථා කරුණු බාධාවන් ගැන. මම කිව්වා එක ව්‍යවස්ථාවක්වත් වැඩක් නැහැ, අලුතෙන් අධිකරණ පිහිටුවන්න අවශ්‍ය නැහැ, මහාධිකරණ දෙකක් වෙන්කරලා දිනපතා නඩු අහන්න බාරදෙනවා. ඒකයි කරන්න තියෙන්නෙ. සාමාන්‍ය ක්‍රමයට නඩු ඇහුවානම්, බොහෝ කාලයක් ගන්නවා. ඒනිසා අපි මේ තීරණය ගත්තා.
ඒවගේම මම කිව්වා මේ හැම ලිපිගොනුවක්ම නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න එපා. එයාලානේ කියන්නේ ලිපිගොනු ගොඩගැහිලා කියලා. විත්තිකාරයා උසාවියට ගෙනැවිත් රිමාන්ඩ් කරලා නඩු අහන්න. රටේ කෝටි ගණනක් හොරකම්කරපු අයට මොන නීතිපතිද? මේ තීන්දුව ගන්න අපට අවුරුදු දෙකක් ගියා. ඒ පිළිබඳ අපි ලැජ්ජා වෙනවා"යැයි පැවසීය.
මේ අවස්ථාවට යහපාලන රජය බලයට පත්කිරීමට දායක වූ සිවිල් සමාජ ක්‍රියාධරයන් හා මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.