රාජකාරි කටයුතුවල නිරතවන පොලිස් නිලධාරීන්ට සිදුකරන පහරදීම් සහ රාජකාරියට බාධා එල්ලකිරීම් දිනෙන් දිනම ඉහළ යාම නිසා රාජකාරියේ නිරතවන සෑම පොලිස් නිලධාරියෙකුටම රිවෝල්වරයක් හෝ පිස්තෝලයක් ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබේ.
මීට අමතරව රාජකාරි කටයුතුවල නිරතවන යම් යම් නිලධාරීන් සිදුකරන අල්ලස් ගැනීම් වැළැක්වීම සඳහා රාජකාරි කටයුතුවලට යොදවන සෑම පොලිස් නිලධාරියෙකුම සතු මුදල් ප්‍රමාණය පොලිස් රාජකාරි පොතේ සඳහන් කරගන්නා ලෙසද නියෝගකර ඇත.
මේ අනුව පොලිස් ස්ථානවල රාජකාරි කටයුතුවලට වාර්තා කරන සෑම පොලිස් නිලධාරියෙකුම තමා සතු මුදල් ප්‍රමාණය පිළිබඳව පොලිස් පොතේ සටහනක් තබා පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරියාට එම මුදල් ප්‍රමාණය පෙන්විය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මීට අමතරව පොලිස් නිලධාරියා සතු මුදල් වියදම්වීමක් හෝ වෙනත් ආකාරයකින් මුදල් පසුම්බියේ මුදල් ප්‍රමාණය ඉහළයාමක් සිදුවුවහොත් ඒ පිළිබඳවද අදාළ පොතෙහි සටහන් තැබිය යුතු බව ඔහු පවසා සිටියේය.
පොලිස් නිලධාරීන්ට ලබාදෙන ගිනිඅවිය භාවිත කළ හැකිවන්නේ නීතියේ රාමුව තුළ පමණක් බවත්, එසේ නොමැතිව ලබාදෙන ගිනිඅවිය පොලිස් නිලධාරියෙකු විසින් ආභරණයක් බවට පත්කර ගතහොත් ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.