රවි කරුණානයක මහතා ඉදිරි දින කිහිපයේදී ඉල්ලා අස්වෙනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එසේම පක්ෂයේ ගෞරවයත්, රජයේ ගෞරවයත් ආරක්ෂා කරමින් ඔහු යහපත් තීරණයක් ගනු ඇති බවත් ඉදිරි දින කිහිපය රටට තීරණාත්මක තීන්දුවක් ඔහු ගනීවි යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊයේ (07දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ ඒකාබද්ධ විපක්ෂය විසින් රවි කරුණානායක මහත්තයට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කර තිබෙනවා. මම හිතන්නේ විශ්වාසභංගයක් ගේන්න අවශ්‍යතාවක් නැහැ කියලයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ජනාධිපතිවරයාගෙනුත්, එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු අගමැතිවරයාගෙනුත් ඉල්ලීමක් කළා මෙම විමර්ශන නිදහසේ කරගෙන යාමට ඉඩ සලසමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට රවි කරුණනායක ඇමැතිතුමාට පවසන ලෙස. ඒ අනුව ඒ මහතා ඉදිරි දින කිහිපය තුළ ඉල්ලා අස්වෙනු ඇතැයි අපේ විශ්වාසයක් තිබෙනවා.
මේ රජයේ චෝදනා එල්ල වුණු ඇමැතිවරුන්ට වගේම පසුගිය රජයේ චෝදනා එල්ල වූ අය ගැනත් අපි හොයනවා. ඒවා දැන් අධිකරණය ඉදිරියේ විමර්ශනය වෙනවා. අපි රජය වශයෙන් අධිකරණමය කටයුතු සම්බන්ධයෙන් ඇගිලි ගහන්නේ නැහැ. ඒවා ස්වාධීනව බලපෑමකින් තොරව අධිකරණය විසින් සිදු කර ගෙන යනවා. ඒ නිසා චෝදනා එල්ල වෙලා තියෙන කිසි කෙනෙකුට බේරෙන්න ලැබෙන්නේ නැහැ කියන එකත් මම කියනවා”