ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් කවුරුන් හෝ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත් මෙවැනි ආකාරයෙන් රට ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවත් බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
රාජගිරියේ පිහිටි බොදු බල සේනා මහලේකම් කාර්යාලයේදී අද (20දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහනසේ මේ බව පවසා සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
"මේ රටේ ජනාධිපතිවරයාට අපි කියනවා කරුණාකරලා මේ රටට ජීවයක් දෙන්න කියලා. 94 අවුරුද්දෙ ඉඳලම සාකච්ඡා වුණා විධායක බලතල වැඩියි කියලා. අපි අහන්න ඕනි මේ විධායක බලතල කොස් කොටන්නද කියලා. ප්රජාතන්ත්රවාදය කිය කියා මේ බටහිරෙන් ආපු මේ කසිකබල් මතවාදවලටයි සිවිල් සංවිධාන කියන සිවල් සංවිධානවලට ඕන විදිහට මේ රට කරන්න ගියොත් අපිට රටක් නැතිවෙනවා.
මේ එක එක නගරං පාන, හයිරං පාන චණ්ඩි වාක්‍ය දොඩන මේ දේශපාලන නායකයන්ට අපි කියනවා කරුණාකරලා ඔය ඉන්න ලෙවල් වලින් බැහැලා මේ රට ගැන හිතන්න කියලා.
රට ගෙනියන්න ආණ්ඩුවක් ඕනි. ඒ ආණ්ඩුව ගෙනියන්න මිනිස්සු ටිකක් ඕනි. ඒකයි අපි ඇහුවෙ මේ විධායක බලතල කොස් කොටන්නද කියලා. කරුණාකරලා යූඑන්පී ද, ශ්‍රී ලංකා ද, ඒකාබද්ධ ද, ඒ එකක්වත් අපට අදාළ නෑ. අපි මේ රටේ සිංහල නායකයන්ට ආරාධනා කරනවා අර වලිගය විසින් බල්ලා නටවන න්‍යායට යන්නෙ නැතුව තම තමන්ගේ උද්දච්ඡකම්, දඩබ්බරකම් එකිනෙකාට තියෙන ඇරියස් කවර් කරගන්න රට බිල්ලට දෙන්නෙ නැතුව එකතුවෙන්න කියලා.
නහයෙන් අඬලා අඬලා ඡන්දයක් ඉල්ලා ගත්තා. දැන් ප්‍රාදේශීය සභා ටික පිහිටුවා ගන්න බෑ. ඒක කරගන්න බැරි අය කොහොමද ආණ්ඩුවක් හදන්නේ?. ඒ නිසා අසාර්ථක සෙබළු පැත්තකට වෙන්න ඕනි. එක්කො මේක රනිල්ට කරන්න දෙන්න ඕනි ඇඟිලි ගහන්නෙ නැතුව. එක්කො මේක කරයි, එක්කො ඉවර කරයි.
එහෙම නැත්තං මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ සාතිශය බහුතරයකගෙ අප්පච්චි බවට පත්වෙලා ඉන්නවනෙ, ඒ මනුස්සයට විතරයි මේක කරන්න පුලුවන් කියලා. එක්කො මහින්ද මහත්තයට මේක දීලා සිරිසේන මහත්තයා පැත්තකට වෙලා ඉඳලා හරි මොකක් හරි ආණ්ඩුවක් රටට ඕනි. මෙහෙම ගන්ධබ්බ අවස්ථාවක් හැටියට මේක යන්න දෙන්න බෑ. ʼʼයැයි ද පවසා සිටියහ.