ඇදහැලෙන ධාරානිපාත වැසි හමුවේ කළු ගගේ ජල මට්ටම රත්නපුර නගරාසන්නයේ දී අද (03) දහවල් 1.00 වන විට මීටර 6.46 දක්වා ඉහළ නැග තිබූ අතර මීටර් 6 ඉක්ම වු විට රත්නපුර නගරය සහ ඒ අවට සුළු ගංවතුර තත්වයක් සේ එය සලකන්නේ යැයි රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු ඒ.ඩී.එස් ඉරේෂ මහතා සදහන් කරයි.
අද උදෑසන 6 වන විට රත්නපුර නගරාසන්නයේ කළු ගගේ ජලමාපකය පිහිටි පුළුගුපිටිය ප්‍රදේශයේ කළු ගගේ ජල මට්ටම මීටර් 4ක් විය.පැය 6ක් තුල එය මීටර් 2.46කින් වැඩි වීමකි.
අද (03) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 ඇතුළත රත්නපුරයට මී.මී 141.9ක් වර්ෂාපතනයක් පතිත වී ඇත. කළු ගග සහ එහි පරිවාර ගංගා වන වේ, දෙනවක්, බඹරබොටු, කුරු ,හංගමු සහ නිරිඇළි යන ගංගාවලද ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට ගංවතුර සහ නාය යෑම් නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ මරණ 04ක් වාර්තා වී පවුල් 832ක් අවතැන්ව ඇතැයි වාර්තා වේ. රත්නපුර ගලබඩ ප්‍රදේශයෙන් එක් මරණයක් ද වැලිගෙපොල මරණ 02ක්ද ඇහැලියගොඩ ප්‍රදේශයෙන් එක් මරණයක්ද වාර්තා වී ඇති අතර අවතැන් වූ පවුල් 832 මේ වන විට තාවකාලික කදවුරු 07ක නවතා ඇතැයි වාර්තා වේ.
අචිනි ඉන්ද්‍රසේන