හඳුන්වා දීමට සූදානම් වන රණවිරු විරුසර වරප්‍රසාද කාඩ්පත සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන 45 ක් පමණ දැනටමත් අනුග්‍රහය දක්වා තිබෙන බවත්, ඉදිරියේදී තවත් පෞද්ගලික ආයතන රැසක් ඊට එකතු වීමට කැමැත්ත පළකර ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එමෙන්ම රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉදිරියේදී විරුසර වරප්‍රසාද ලබාදීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය. රණවිරු සේවා අධිකාරිය සමග එක්ව රණවිරු සුභසාධන වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව රට වෙනුවෙන් දිවිපිදූ, යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක රණවිරු විරුසර විශේෂ වරප්‍රසාද කාඩ්පත වෙනුවෙන් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය හා රණවිරු සේවා අධිකාරිය ඊයේ (11දා) අවබෝධතා ගිවිසුමකට එළඹුණු අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කීය.
එමෙන්ම විරුසර විශේෂ වරප්‍රසාද කාඩ්පත මුද්‍රණය කිරීමට පූර්ණ අනුග්‍රහය ලබාදීම සඳහා ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය ඉදිරිපත්ව සිටින බවත්, ඒ වෙනුවෙන් තමා සිය ස්තුතිය පුදකර සිටින බවත් ඔහු පැවසීය.
එළඹෙන 25 වැනිදා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රණවිරු විශේෂ වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමට නියමිතය.
මෙමගින් රණවිරුවන් රට දැය වෙනුවෙන් සිදුකළ මෙහෙය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිදුකළ කැපකිරීම ඇගයීමට ලක්කෙරෙන අතර, රාජ්‍ය ආයතනවල විවිධ සේවා ලබාගැනීමේදී මෙන්ම භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී මෙම කාඩ්පත මගින් විශේෂ සහන ලැබෙනු ඇත.