සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහා ඉතා ඉක්මනින් සාමාජිකයන් පත් නොකළහොත් දැනට රටතුළ සිටින ආයෝජකයන් ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලුවක් ඇතිවිය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.
2017 ජනවාරි 26 වැනිදා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට සාමාජිකයෝ පත්කර නැති බවත්, මේ හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කඩාවැටෙමින් තිබෙන බවත් මන්ත්රීවරයා කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,
'සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් වෙළෙඳ පොළේ කටයුතු නියාමනය කරනවා. කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර තිබෙන ආයෝජකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තියෙන්නේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට. එම කොමිෂන් සභාව අවුරුදු තුනක කාලයකට සාමාජිකයන් 10 දෙනෙකුගෙන් තමයි එක්වෙන්නේ. 2015 ජනවාරි 25 සිට 2017 ජනවාරි 26 වැනිදායින් කොමිසමේ කාලපරිච්ඡේදය අවසන් වෙනවා. එනිසා දැන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවක් නැතිව තමයි මේ රටේ කොටස් වෙළෙඳපොළ ක්රියාත්මක වෙන්නේ.
කොටස් වෙළෙඳපොළ කඩාවැටෙමින් තිබෙන තත්ත්වයක් තුළ යුරෝපා ආර්ථික ප්රජාවේ පාර්ලිමේන්තුව විසින් ඡන්ද 357ක් දීලා ලංකාව අවදානම් රටක් ලෙස බ්ලැක් ලිස්ට් කරලා තියෙන වෙලාවක අපේ සුරැකුම්පත් හා නියාමක කොමිසමේ සාමාජිකයන් පත්කරන්න ඕන. මේ තත්ත්වය තුළ ආයෝජකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවෙනවා. කොමිසමට අලුතෙන් සාමාජිකයන් පත් නොකර ආර්ථිකය පවත්වාගෙන යන්න බැහැ" යනුවෙන් කියා සිටියේය.