රාජපක්ෂ පාලනය මෙරට තුළ ආරම්භ වූ දා සිට මේ වනවිට ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය, පරිසරයට සිදුකළ විනාශය සියවස් ගණනක් ගියද යළි ගොඩනැගිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ඊයේ (13දා) පැවැති 25 වැනි ඉල්මහ විරු සමරුවට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ ගෙනයන පාලනය වෙනස් කිරීමට කටයුතු නොකළහොත් අනාගතයේ ඉපදීමට සිටින දරුවන්ට රටක් නොමැති වන බවයි.
මේ නිසා රාජපක්ෂ ජනාධිපතිවරයා තවත් කාලයක් මේ රට පාලනය කිරීමට නීතියට වෙට්ටු දමා සිදුකරන ක්රියාව පරාජය කිරීමට රටේ ජනතාව එකාවන්ව එකතු විය යුතු බවද ඔහු පවසා සිටියේය.
මෙතෙක් මෙරට තුළ තිබූ නරකම කාලය ලෙස 80 දශකය හැඳින්වුවද, අද වනවිට ඒ තත්ත්වය වෙනස් වී රටේ නරකම කාලය මේ වනවිට උදා වී තිබෙන බවසඳහන් කළ පක්ෂ නායකයා 80 දශකය තුළ ඇති වූ අර්බුදය විසඳීමට විජේවීර සහෝදරයා ඇතුළු සහෝදරයන් කටයුතු කළද, එය මර්දනය කර ඔවුන් රටට අහිමි කිරීමට එවකට සිටි පාලකයන් කටයුතු කළ බවද පවසා සිටියේය.