මැති ඇමතිවරු කවුරුන් හෝ චීවරයට අත තැබුවොත් එය ආණ්ඩුවේ අවසානයයි
රටට අවශ්‍ය පොදු අපේක්ෂකයකු නොව ජාතික නායකයෙකු බවත්, රජුන් තනන වැඩපිළිවෙළක් බොදුබල සේනා සංවිධානය විසින් ආරම්භ කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
තවද අදින් පසුව මැති ඇමති කවුරුන් හෝ චීවරයට අත ගසන්නට පැමිණියහොත් එය ආණ්ඩුවේ අවසානය බවත්, ආණ්ඩුවේ සිට කෑගසන සුනඛයන් බැඳගන්නා ලෙස ජනාධිපතිවරයාට පවසන බවත් ඥානසාර හිමියෝ පැවසූහ.
උන් වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (07දා) බෞද්ධ මහා සම්මේලනයේ 'බෞද්ධ විරෝධී මෙහෙයුමට එරෙහිව සිංහල භික්ෂු වංශයේ පුනරාගමනය' නමින් පැවැති බොදුබල සේනා සඟ සමුළුවේදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ,
'අපේ භික්ෂු වංශය පිළිබඳ සිතිය යුතු කාලයකයි අපි සිටින්නෙ. අපි දැන් ඉවසුවා ඇති. සතර අතින් එන බලවේග රටේ සිවුකොණ කොල්ලකමින් ඉන්නවා.
මේ ආණ්ඩුව හෝ රජයේ බලවත් අයට අදටත් බැරිවෙලා තියෙනවා බෞද්ධයන් ආරක්ෂා කරන්න. මේ ආණ්ඩුවෙන් අපි ඒක බලාපොරොත්තු වුණත් ඒවා වුණේ නැහැ. අද ජනාධිපතිවරයා, ත්‍රිවිධ හමුදාව ඇතුළු පහළ නිලධාරියා දක්වා සියලු දෙනා බලවත් රැවටීමක හෙවත් අල්ටකියාවක සිර වී සිටිනවා. අපේ නායකයන් සිටින සර්වාගමික යැයි කියන නාටකයට ඉඩදෙන්න බැහැ. පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක් ඔස්සේ අපි කටයුතු කළ යුතුයි.
අපේ දේශපාලනය ජාතික දේශපාලනයයි. අපට හොඳ ආර්ථිකයක් වගේම හොඳ දේශපාලනයක් අවශ්‍යයි. සංවර්ධනය සංවර්ධනය කියලා කොයිතරම් කෑ ගැහුවත් බොහෝ අංශවල සංවර්ධනයක් වෙලා නැහැ. හොරු තක්කඩින් පිරුණු, රට පිළිබඳ කිසිදු අදහස් නැති සමූහයක් දේශපාලඥයන් ලෙස ඉන්නවා'යනුවෙන් පවසා සිටියහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු