කොටි ත්‍රස්තවාදින් චතුර සේනාරත්නගේ සහෝදරයින් කරමින් රජයේ නිල මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය ආණ්ඩුවේ නිල ප්‍රකාශය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය. අද (21දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
“පිරබාහරන් මහත්මයෙකු කරමින් ද කොටි ත්‍රස්තවාදින් චතුර සේනාරත්නගේ සහෝදරයින් කරමින් ද දෙමළ සංහාර දිනය සැමරීම වරදක් නැතැයි කියමින් ද රජයේ නිල මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා රජයේ නිල මාධ්‍ය හමුවේ දී කළ ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතය නොවේ යැයි දැන් ආණ්ඩුවේ සමහර ඇමතිවරු දිගින් දිගටම ප්‍රකාශ කරනවා.
එතුමන්ලට එහෙම කියන්න සිහිපත් වුනේ වෙන කුමක් නිසාවත් නොවෙයි මේ සමාජයෙන් ඊට දරුණු විරෝධයක් එල්ල වන නිසා. ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමතිතුමා ආණ්ඩුවේ නිල මාධ්‍ය හමුවේ කරන ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතය නොවේ කියලා කියන්න අනිත් ඇමතිවරුන්ට පුළුවන් ද? රාජිත ඇමතිතුමා තමයි ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක. ඒ වගේම ඒ ආණ්ඩුවේ නිල මාධ්‍ය හමුවේ දී. එහෙම ප්‍රකාශයක් ආණ්ඩුවේ නිල මතය නොවේ කියන්න අනිත් ඇමතිවරුන්ට තිබෙන අයිතිය කුමක් ද?
ආණ්ඩුවේ නිල මතය ප්‍රකාශ කළ හැක්කේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකට පමණයි. ඔහු ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ නිල මතය නොවේ නම් ඔහුව ඉවත් කර වෙනත් අයෙකු පත් කළ යුතුයි. නමුත් මේ මොහොත වන විටත් ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමතිතුමා. ඒ කියන්නේ අනිත් ඇමතිවරු මොනවා කිව්වත් ජනපති සහ අගමැති දෙන්නාම රාජිත ඇමතිගේ ප්‍රකාශය අනුමත කරන බවයි.”