මීගමුව කලපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන් කළ මුදලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක රැලියක් පැවැත්වීම සහ මීගමුව කලපු සංවර්ධනය නමින් සමරු ඵලකයක් ඉදිකිරීම මගින් රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කොට රජයේ මුදල් අවභාවිත කළ බව කියන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන්නැයි බරපතළ වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනාධිපති කොමිසම නිර්දේශ කොට මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් නීතීපතිවරයා හෝ අල්ලස් කොමිසම ඒ සඳහා මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළව බරපතළ දූෂණ වංචා විමර්ශන කොමිසම හමුවේ පැවැති සාක්ෂි විභාගයේදී හෙළි වූ කරුණුවලට අනුව රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු සිද්ධීන්වලට හිටපු ධීවර ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු වගකිවයුතු බව හෙළි වීම නිසා ඔවුන්ට එරෙහිව නීතී මගින් කටයුතු කරන ලෙස කොමිසම විසින් නීතීපතිවරයාට හා අල්ලස් කොමිසමට දැනුම්දෙන ලද්දේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය.
2014 දෙසැම්බර් 29 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක රැලියක් මීගමුවේදී පැවැත්වීම වෙනුවෙන් මීගමුව කලපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන්කළ මුදලින් රුපියල් 8,750,000ක්ද, එම මැතිවරණ ප්රචාරක රැලිය එල්.ඊ.ඩී. තිරයක් මගින් පෙන්වීමට රුපියල් 175,000ක්ද, එම මැතිවරණ ප්රචාරක රැලියට සහභාගි වූවන්ට ටී ෂර්ට් හා කැප් තොප්පි ලබාදීමට රුපියල් 1,255,000ක්ද, මීගමුව කලපු සංවර්ධනය නමින් සමරු පලකයක් ඉදිකිරීම සඳහා රුපියල් 1,845,000ක්ද වැය කිරීම මගින් රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස කොමිසම නීතීපතිවරයාට හා අල්ලස් කොමිසමට දැනුම් දී ඇත.
හිටපු ධීවර ඇමති සරත් කුමාර ගුණරත්න මහතාට අමතරව මෙලෙස නීතී මගින් කටයුතු කිරීමට නියම කොට ඇත්තේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ, එහි සාමාන්‍යාධිකාරී ජී.ජී.පී. අබේසේකර, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන පැල්පිට, ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් චමින්ද කුමාරසිංහ ඇතුළු පස් දෙනෙකුට එරෙහිවය.
මේ පිළිබඳව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ ඒ මහතා, එම සිද්ධියට අදාළ විමර්ශනය අවසන් වූ වහාම කොමිසමේ විනිසුරුවරුන්ගේ නිර්දේශ සහිත අවසන් වාර්තාව නීතීපතිවරයාට සහ අල්ලස් කොමිසමට පසුගිය නොවැම්බර් මාසයේදී යැවූ බවත්, නමුත් මේ වනතුරු ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත් බව එම ආයතන විසින් කොමිසමට දැනුම් දී නැති බවත් කීය.