රජයේ මුදලින් තඹුත්තේගම නගරයේ ඉදිකළ ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා විසින් ඔහුගේ පුත්‍රයාට පවරා දී පසුගිය රජය සමයේ විශාල වංචාවක් සිදුකර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඡායාරූප හා ලිපි ලේඛන රැසක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
"තඹුත්තේගම නගරයේ ඉදිකෙරුණු නව සතිපොළ භූමියට යාබදව 2014 සැප්තැම්බර් මාසයේ රුපියල් ලක්ෂ 200ක වියදමින් ගොඩනැගිල්ලක් ඉදිකළා, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයෙන්. තාම මේ ගොඩනැගිල්ල විවෘත කරලා නැහැ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන නිසා. මේ ගොඩනැගිලි හදන්න ඉඩම් පවරා ගෙන තියෙන ලිපි ලේඛන මා සතුව තිබෙනවා.
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා, 2014 මාර්තු මාසයේ බහුකාර්යය ගොඩනැගිල්ලක් ඉදිකරන්න ඉඩම් ඉල්ලීමක් කරමින් ලිපියක් යොමුකරලා තියෙනවා, මහවැලියට ගොඩනැගිල්ල ඉදිකරන්න. මහවැලියෙන් ඉල්ලීමක් කරන ඉඩමේ නෙමෙයි ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නෙ. ඊට අල්ලපු ඉඩමේයි ගොඩනැගිල්ල ඉදිකරන්නෙ. තඹුත්තේගම නගරයේ 41-සී 2 කියන ඉඩමේ තමයි බහුකාර්යය ගොඩනැගිල්ල ඉදිකරන්න ඉල්ලීම කරන්නෙ. හැබැයි ගොඩනැගිල්ල ඉදිකරන්නේ 41 - සී 1 කියන ඉඩමේ.
එවකට විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා එතුමාගේ ලිපි ශීර්ෂයෙන් ඉල්ලීමක් කරනවා නේවාසික ව්‍යාපාර කළමනාකරුගෙන්. 'කලාවැව ආසනයේ කාර්යාල පහසුකම් හා නේවාසික පහසුකම් ලබාගැනීමට ඉල්ලීම' කියන මාතෘකාවෙන් උක්ත කරුණ සම්බන්ධයෙන් 'මහවැලි එච් කලාපයේ තඹුත්තේගම, තම්මැන්නාපුර ඇති 41-සී 1 ලෙස නම් කර ඇති පර්චස් 40ක බිම් කොටස ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි' කියලා. එහෙම ඉල්ලලා ඊට යාබද ඉඩමේ ආණ්ඩුවේ රුපියල් ලක්ෂ 200ක වියදමින් ගොඩනැගිල්ල හදනවා. ඊට පස්සේ 2014-11-03 නැවත එස්.එම්. චන්ද්‍රසේන ඇමතිතුමා මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරුට ලිපියක් එවනවා. 'නේවාසික පහසුකම් සඳහා ඉඩම් කොටසක් ලබාගැනීම සම්බන්ධවයි' කියලා.
නව නුවර පාර කුරුන්දන්කුලම, අනුරාධපුර ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටින එස්.එම්. ඉසංක චතුරංග යන අයට, ඒ කියන්නේ චන්ද්‍රසේන ඇමතිතුමාගේ පුතාට 'නේවාසික පහසුකම් සඳහා මහවැලි එච් කලාපයෙන් ඉඩම් කොටසක් ලබාදෙන ලෙස මා වෙතින් ඉල්ලීමක් කර සිටී. මේ පිළිබඳ ඔබතුමන්ගේ අවධානය යොමුකර මහවැලි නේවාසික ව්‍යාපාර කාර්යාලයෙන් මැන සකස් කරන ලද 41 සී 2 ඉඩම් කට්ටිය ඒ සඳහා ලබාදෙන මෙන් කාරුණික වෙමි' කියලා'.
එස්.එම්. චන්ද්‍රසේන ඇමතිවරයා, තඹුත්තේගම සතිපොළ අසල 41 සී 1 රජයේ ගොඩනැගිල්ලක් ඉදිකරන්න ඉල්ලලා, ඊට යාබද ඉඩමේ ආණ්ඩුවේ මුදලින් විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයෙන් ලක්ෂ 200ක් වියදම් කරලා ගොඩනැගිල්ලක් හදලා, ඒ ඉඩම ඉල්ලනවා තමන්ගේ පුතාට. මේ කාරණා නිසා තාමත් මට මේ ගොඩනැගිල්ල විවෘත කරගත නොහැකි වෙලා තියෙනවා. මේ ගැන මේ වනවිට පරීක්ෂණයක් කරනවා. ආණ්ඩුවේ මුදල් වියදම් කරලා අපට අපේ ගෙවල් හෝ කාර්යාල හදාගන්න පුළුවන්කමක් නැහැ. මේවා විශාල වංචා. මේ කාරණා මම ඉදිරිපත් කරනවා, ඇස් ඇරගෙන ඉන්න අයට" යැයි පැවසීය.
අප මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍ර‘සේන මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ,
“මට සිදුකරන මේ චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලාවැව ආසන සංවිධායක විදිහට මම කටයුතු කරද්දී කාර්යාලයක් පවත්වා ගෙන යන්න නිමල් සිරිපාල ඇමතිතුමාගෙන් මම ඉල්ලීමක් කළා. නමුත් ඒකට වැඩ ගොඩක් තියෙන බවත්, නෛතික පැත්ත ගැනත් ඇමතිතුමා මට පැහැදිලි කරලා දුන්නම මට ඒ අදහසත් අතහැරලා දැම්මා. මම කවදාවත් පුතා වෙනුවෙන්වත්, පෞද්ගලිකවත් ඉඩමක් ඉල්ලා නැහැ.
මට මේ චෝදනාව කරන දුමින්ද දිසානායක ඇමතිතුමාගේ ඉඩම් ගනුදෙනු ගැන නම් ලිපි ගොඩක් මගේ ළඟ තියෙනවා. ඕනේ නම් ඒවා ඉදිරිපත් කරන්නම්" යනුවෙනි.