ආණ්ඩුව විවේචනය කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති මුත් සාධාරණ සහ සමබර තොරතුරු ජනතාව අතරට ගෙනයමින් තම මාධ්‍ය වගකීම රට වෙනුවෙන් ඉටුකිරීම පිළිබඳ මාධ්‍ය ආයතන වෙත මගපෙන්වීම වැදගත් බවත්, එය කිසිසේත් මාධ්‍ය මර්දනයක් සඳහා කරන කටයුත්තක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඊයේ (07දා) නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව කීය.
ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාළිකා සහ ගුවන් විදුලි නාළිකා තම ගුවන් කාලයෙන් 80% ක් පමණ ආණ්ඩුව විවේචනය කිරීමට වෙන් කර ඇති බවත්, රටේ සංවර්ධන කටයුතු සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැය කරන්නේ 20% ක් පමණක් බවත් වාර්තා ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම විද්‍යුත් මාධ්‍ය ආයතන මගින් තමන්ට ලබා දී ඇති සංඛ්‍යාත පරාසයන් අබිබවා යමින් නීති විරෝධී ලෙස කටයුතු කිරීම පිළිබඳව සොයාබැලීමට නවීන තාක්ෂණය උපයෝගි කරගැනීමේ හැකියාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වඩා මහජන සම්බන්ධතාවක් ඇති ආයතනයක් ලෙස ගොඩනගමින් එහි කාර්යභාරය සහ සේවාවන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
දුරකථන ගාස්තු සඳහා පනවා ඇති වැට් බද්ද හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සහ ඒ සඳහා වඩා සරල බදු ක්‍රමයක් හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන බව ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.