සී.එස්.එන්. නාළිකා ප්‍රධානී හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් දෙහිවල මිහිඳු මාවතේ පර්චස් හැට පහක ඉඩමක් මිලදී ගෙන එහි රුපියල් කෝටි ගණනක් වටිනා අධිසුඛෝපභෝගී මහල් නිවස දෙකක් ඉදිකර ඇති බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් කරුණු වාර්තා කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (සී.එස්.එන්) ආයතනයට ලද රුපියල් කෝටි ගණනක මුදල් හා වත්කම් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැවැත්වූ විමර්ශනවලට සමගාමීව යෝෂිත රාජපක්ෂ මහතාගේ දේපළ පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳව හෙළිවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පර්චස් හැට පහ කැබලි වශයෙන් මිලදී ගෙන ඇතැයිද, දෙහිවල ගල්කිස්ස සමුපකාර සමිතියට අයත් පර්චස් පහක ඉඩමක් වෙළෙඳ පොළ වටිනාකමට අඩු මුදලකට මිලදී ගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි සඳහන් වේ.
කැබලි වශයෙන් මිලදීගත් පර්චස් හැට පහෙන් පර්චස් 35 ක් යෝෂිත රාජපක්ෂ මහතා නමට හා ඉතිරිය ඔහුගේ ඥාතියෙකු වන වයස අවුරුදු අසූ අටක අවිවාහක කාන්තාවක නමට මිලදී ගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි වාර්තා වේ.
එහි අධිසුඛෝපභෝගී සිවුමහල් හා දෙමහල් නිවාස දෙකක් විදුලි සෝපානද සහිතව ඉදිකර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි වාර්තා වේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් එම අධිසුබෝපභෝගී නිවාස දෙකෙහි තක්සේරු වාර්තා මෙතෙක් ලබාගෙන නොමැති බවද වාර්තා වේ.
අංක 828/16 යටතේ මේ පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.
බණ්ඩාරගම - විමල් ශ්‍යාමන් ජයසිංහ