වර්තමානයේ භුක්ති විඳින නිදහස වෙනුවෙන් විරුවන් 28,589 කගේ ජීවිත පරිත්‍යාග කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. හමුදාපතිවරයා මේ බව පැවසුවේ ජාතික රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.
සියලු ලක්වාසීන් වර්තමානයේ භුක්තිවිඳින නිදහස වෙනුවෙන් යුද හමුදාවේ 23962ක්, නාවික හමුදාවේ 1160ක්, ගුවන් හමුදාවේ 443ක්, ශ්‍රී ලංකා පොලීසියේ 2568ක් සහ සිවිල් ආරක්ෂක බළකායේ 456ක සාමාජිකයන් පිරිසක් මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැද දිවි පුදා ඇති බවත් එසේ දිවි පුදා හිමි කරගත් නිදහස පටු අරමුණු හා පුද්ගලික න්‍යාය පත්රයන් වෙනුවෙන් භාවිත නොකළ යුතු බවද හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටී.
එමෙන්ම යුද හමුදාව, මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා විශේෂිත වු වැඩපිළිවෙලක් සකස් කොට ඇති අතර සෑම රෙජිමේන්තු මධ්‍යස්ථානයකදීම හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආගමික වාතාවත් සිදුකරන බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 19 වැනිදා රණවිරු සැමරුම් උත්සවය ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වෙන අතර එදිනම ඓතිහාසික කැලණිය රජමහා විහාරයේදී ආලෝක පුජාවක් යුද හමුදාවේ මූලිකතවයෙන් පැවැත්වීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.