නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් පළාත ඊයේ (11දා) පැවති ජනමත විචාරණයෙන් ඉතා පහසු ජයග්‍රහණයක් අත්කර ගත් බව රුසියානු හිතවාදී බෙදුම්වාදීන් පවසයි.
ඔවුන්ට අනුව එම ජනමත විචාරණයෙන් ඩොනෙට්ස්ක් පළාතට ස්වයං පාලනයක් වෙනුවෙන් 89%ක කැමැත්ත හිමිවී තිබේ.
ඩොනෙට්ස්ක් පළාතට අමතරව ලුහාන්ස්ක් පළාතේද ජනමත විචාරණය පැවති අතර එහි ඡන්ද ප්‍රතිඵල ඉක්මණින්ම නිකුත් කරන බවත්, එහිදීද විශාල ජයග්‍රහණයක් තමන් වෙත අත්වනු ඇති බවත් ඔවුන් පවසයි.
කෙසේ වෙතත් මෙම ජනමත විචාරණය කල්දමන ලෙස රුසියානු ජනාධිපතිවරයා පවා කියා සිටියදී රුසියානු හිතවාදී බෙදුම්වාදීන් එය පැවැත්වීය.
එමෙන්ම බටහිර මෙන්ම යුක්රේනයද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කළ අතර, මෙය නතර කිරීමට රුසියාව කටයුතු නොකරන බවට ඔවුන්ටද චෝදනා කළේය.
මෙම ජනමත විචාරණය යටතේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන පළාත්හි නායකයන් යැයි කියා ගන්නා දෙදෙනකු ඡන්දය සඳහා ඉදිරිපත් වී තිබුණු අතර, මේ හරහා පළාත් සඳහා ස්වයං පාලනයක් ඇතිකර ගැනීම ඔවුන්ගේ අරමුණ විය.
කෙසේ වෙතත් යුක්රේන බලධාරීන් පවසා සිටියේ මෙම පළාත් දෙකට ස්වයං පාලනයක් නොව ස්වයං විනාශයක් අත් වෙන බවය.
මෙම ජනමත විචාරණය වාර්තා කළ බී.බී.සී. වාර්තාකරු පෙන්වා දී තිබුනේ ඇතැම් ඡන්දපොළවල එකම ගාලගොට්ටියක් පැවති බවය. එහිදී, ඇතැම් ස්ථානවල ඡන්ද මධ්‍යස්ථාන කියා දෙයක් නොතිබුණු බවත්, ඡන්ද ලියාපදිංචි වීමක් දක්නට නොලැබුණු බවත් ඔහු පැවසීය.
මෙම ජනමත විචාරණය වෙනුවෙන් ලබාදී තිබූ ඡන්ද පත්‍රිකාවේ එක් ප්‍රශ්නයක් පමණක් තිබී ඇති අතර, එය යුක්රේන හා රුසියානු භාෂාවෙන් සටහන් කර තිබුණු බවද කියැවෙයි.
'ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව සඳහා ස්වයං-පාලන රාජ්‍යයන් සඳහා වූ නීතියට ඔබ සහාය දක්වන්නේද?' යන්න එම පැනයයි.