යුක්රේනය වෙත රුසියානු හමුදා පිටත්කර හැරීම සඳහා වූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ඉදිරිපත් කළ යෝජනාව රුසියානු පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, යුක්රේනය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු හමුදා යෙදවීමක් ගැන පූටින් ජනාධිපතිවරයා මෙම යෝජනාව හරහා එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇති බව පැවසෙයි.
ක්‍රිමියාවේ යුක්රේන කලාපයේ නව අගමැති සර්ජි අක්සියොනොව් කලාපය සන්සුන් කරගැනීමට උදව් කරන ලෙස රුසියානු ජනාධිපති පූටින්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම හමුදා ක්‍රියාමාර්ගය වෙත රුසියාව එළැඹෙන බව ඒත්තු ගන්වා තිබේ.
මේ අතර විනාඩි 90ක කාලයක් රුසියානු ජනාධිපතිවරයා සමග දුරකථන සංවාදයක යෙදුණු ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් පූටින්ගෙන් අයැද සිටියේ හමුදා නැවත ගෙන්වා ගන්නා ලෙස බව වාර්තා වෙයි. එමෙන්ම, මෙසේ හමුදා එවීමෙන් රුසියාව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර ඇති බවක්ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බව කියැවෙයි.
එමෙන්ම ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය හේතුවෙන් ග්‍රිනීච් වේලාවෙන් අද (2දා) දහවල් 12.00 ට නේටෝව හදිසි රැස්වීමක්ද කැඳවා ඇති බවද වාර්තා වෙයි.
රුසියාවට හිතවත් තුවක්කුකරුවන් (බොහෝ විට රුසියානු හමුදාවම විය හැකිය) විසින් ක්රිමියානු පාර්ලිමේන්තුව අල්ලා ගැනීමෙන් පසු අගමැති ලෙසට නම් කෙරුණු අක්සියොනොව් පවසන්නේ පොලීසිය, යුද හමුදාව ඇතුළු කලාපයේ සියලු ආරක්ෂක අංශවල පාලනය තමා අත පවතින බවය.
කෙසේ වෙතත් විදෙස් පුවත් සේවා පවසා සිටියේ නිල නොලත් ආරංචි මාර්ග අනුව මේ වනවිටත් සිය ගණනක් වූ රුසියානු හමුදා සෙබලු හා ගුවන් යානා ක්රිමියාව වෙත ඇතුළු වී ඇති බවය.
යුක්රේනයේ නව අන්තර්වාර ජනාධිපති ඔලෙක්සැන්ඩර් ටර්චිනොෆ්ද රුසියාවට චෝදනා කරමින් කියා සිටියේ හමුදා සෙබලු හා ගුවන් යානා ක්රිමියාවට සැපයීමට රුසියාව මේ වනවිටත් කටයුතු කර ඇති බවය. ඒ අනුව, ඔහු එරට ප්‍රධාන ආරක්ෂක අංශ ගෙන්වමින් හදිසි තත්ත්වයක් පිළිබඳ සාකච්ඡාවක් සිදුකර ඇති බවද යුක්රේනයෙන් වාර්තා වෙයි.
ක්රිමියාව තුළ රුසියානු සම්භවයක් ඇති වැඩි පිරිසක් ජීවත්වන නිසා යුක්රේනයේ ඇතිවී තිබෙන වත්මන් අසාමාන්‍ය තත්ත්වය තුළ ඒ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා තම හමුදා යුක්රේනයට එවන බව පූටින් පවසා තිබේ.
මීට පෙර ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා තිබුනේ යම් ලෙසකින් යුක්රේනය වෙත රුසියානු ආක්‍රමණයක් සිදුවුවහොත්, ඒ වෙනුවෙන් රුසියාවට වන්දි ගෙවීමක් කිරීමට සිදුවනු ඇති බවය. එය ඇමෙරිකාවෙන් රුසියාවට කළ අනතුරු ඇඟවීමක්ද විය. නමුත්, රුසියාව නැවත වරක්, ඇමෙරිකාවේ කීම කිසිසේත්ම ගණනකට ගෙන නොමැති බව ඔවුන්ගේ ක්‍රියාකලාපයෙන් ඔප්පු වී තිබේ.
ඒ අනුව, රුසියාවෙන් හා ක්රිමියාව ආශ්‍රිතව වාර්තා වන තොරතුරු විග්රහ කිරීමේදී, රුසියාවේ හමුදා යෙදවීම ක්රිමියාව වෙත පමණක් සිදුකරන්නක් නොවන අතර, එය සමස්ත යුක්රේනය වෙතම සිදුකරන රුසියානු ආක්‍රමණයක් විය හැකි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.