යාපහුව කේන්ද්‍ර කරගත් වයඹ පළාත තුළ අදින් වසර 4000කට පෙර ආදි ජනාවාස පැවති බවට නවතම පුරාවිද්‍යා පරීක්ෂණවලින් සනාථ වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා 'අද'ට පැවසීය.
ඒ අනුව වයඹ පළාත තුළ ජීවත් වූ ප්රාග් ඓතිහාසික මානවයා මීට වසර 4000කට පෙර සිටම තිරිවානා හා කහඳ පාෂාණ මගින් සාදාගත් කුඩා ගල් ආයුධ භාවිත කළ බවත්, සත්ත්ව ආහාරවලට අමතරව කැකුණ ඇටද, ගින්දරද භාවිත කළ බවත් මෙම කැණීම් මගින් තහවුරු වී ඇති බවත් මහාචාර්යවරයා කීය.
ලංකාවේ ඓතිහාසික සමාජයේදී ඉතාම සුවිශේෂී කරුණක් ලෙස මෙය වැදගත් වන බවත්, යාපහුව කැණීමෙන් ලබාගත් අඟුරු නියැදි මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ බීටා ඇනලයිසිස් ආයතනයේ කාලනිර්ණ මගින් මෙම කරුණු තහවුරු කළ බවත් මහාචාර්ය ප්‍රියශාන්ත මහතා පැවසීය.
පොළොන්නරු ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසුව රාජ්‍ය පාලකයන් බළකොටු ගොඩනගාගත් කලාපය ලෙස දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, නගර ප්‍රසිද්ධව ඇති බවත්, යාපහුව අවධානයට යොමුවන්නේ ක්‍රි.ව. 1272 - 1284 කාලයේ පළමුවැනි බුවනෙකබාහු රජු රාජ්‍ය පාලනය කළ ප්‍රදේශයක් ලෙස බවත් මහාචාර්යවරයා පැහැදිලි කළේය.
එසේ වුවද මෙම රාජ්‍ය පාලනයට පෙර සිටම මෙම ප්‍රදේශවල ආදිවාසී ජනතාව ජීවත්වූ බව මේ හරහා තහවුරු වී ඇති බවත්, වයඹ පළාත පිළිබඳව හමුවන විශ්වසනීය කාලනිර්ණය මෙය වන බවත් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වයඹ පළාත තුළ ප්‍රථම වරට සිදුකළ පරීක්ෂණය මෙය වන අතර, යාපහුව නගරයේ ඇති ගල් ගුහාවක සිදුකළ කැණීමකින් ලබාගත් අඟුරු මගින් මේ බව තහවුරු වී තිබෙන බවද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකාව තුළ මීට වසර ලක්ෂ 03 -04 ක කාලයකට පෙර සිටම ජනාවාස පැවැති බවට ලංකාවේ විවිධ ස්ථානවලින් පැහැදිලි සාක්ෂි ලැබී ඇති බවත්, එය එකවර සෑම ප්‍රදේශයකම පැවතියේදැයි යන්න සොයා බැලීමට පුරාවිද්‍යාඥයන් තවදුරටත් කැණීම් සිදුකරන බවත් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධානත්වයෙන් පසුගිය වසර එකහමාරක කාලයක් යාපහුවේ මෙම ගල්ගුහා කැණීම් සිදුකර ඇති අතර, මෙම ස්ථානය භාරව කටයුතු කර ඇත්තේ තුසිත හේරත් මහතාය.