2015 ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ යහපාලනය, ජනතාවට දැනෙන අයුරින් ස්ථාපිත කිරීමට රජයක් ලෙස අපොහොසත් වී ඇති බවත්, එසේම එය රටේ මහජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරන බවට මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
හෙතෙම පෙන්වා දුන්නේ ජනතාවගේ කැමැත්ත මත පදනම් වන හා ජනතාවට වගකියන ප්රජාතන්ත්රවාදී රජයක් සෑමවිටම ජනතා ප්‍රතිචාර සාධනීය ලෙස බාරගත යුතුවන බවයි.
එසේම, ඒවාට උචිත ලෙස රජයක් ක්‍රියාත්මක විය යුතු අතර, මහජනතාව විසින් සහ අදාළ අවස්ථාව විසින් ඉල්ලා සිටින ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන්ට යොමු වීම රජයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ වගකීම වන බවද හෙතෙම අවධාරණය කර සිටියේය.
මේ සම්බන්ධයෙන් ඊයේ (11දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සිය අදහස් ප්‍රකාශ කරන අමාත්‍යවරයා,
"2015 වර්ෂයේදී විශාල මහජනතාවක් අපේක්ෂා සහගතව අප වටා එක් වූහ. එසේම වසර තුනකට පසුව රජයේ පාර්ශ්වයෙන් විවිධ අඩුපාඩුකම් සිදුව තිබියදීත් විශාල ජනතාවක් අප පිළිබඳ තවදුරටත් විශ්වාස තබා ඇති බවද මෙවර මැතිවරණ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරේ. අපගේ පළමු ප්‍රමුඛතාව වියයුත්තේ එම ජනතාවයි.
මෙම අභියෝගාත්මක අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණට ඡන්දය ලබාදුන් එම ජනතාව අත්නොහැර ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් තවදුරටත් කටයුතු කිරීම අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකම බව අවධාරණය කිරීමට කැමැත්තෙමු" යැයිද සඳහන් කරයි.