මෙවර අයවැයත් කොත්තමල්ලි අයවැයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. මතුගම නෑබඩ පාරේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී ඊයේ (21 වන දින) පැවැති පින්කම අවසානයේදී ඔහු මේ බව පැවැසීය.
"තමුන්නාන්සේලා මට වඩා හොඳට දන්නවා කොත්තමල්ලි අයවැයේදී කොච්චර කාලයක් ලාබෙට කොත්තමල්ලි හමුබ වුණාද කියලා. අද අපිට හුඟක් වැදගත් දවසක්. අයවැයේ තිබුණා කට්ට කරවල එක්දහස් එකසීයට, හාල්මැස්සෝ හාරසිය දහයට දෙනවා කියලා. ඒත් කඩේට ගියාම, කන්න ගියාම තමයි මේවා ඒ විදියටම ලැබෙනවද කියලා කියන්න පුළුවන්. මම නම් දකින්නේ මේකත් කොත්තමල්ලි අයවැයක් විදියටමයි.
ජනතාවට කරවල, අල, ලූනු පෙන්නලා ධනපතියන්ට වගේම විදේශිකයන්ට විශාල සහන දීපු අයවැයක් මේක. එදා අපි විදේශිකයන්ට මේ රටේ ඉඩම් ගන්නකොට සීයයට එකසිය පනහක බදු අයකරලා තිබුණා. අද ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඕනෑම විජාතිකයෙකුට ඉඩම්ගන්න පුළුවන්.
පොහොර සහනාධාර කපාහැරලා. රුපියල් පනහට ගන්නවා කියපු වී රුපියල් තිස්අටට බැහැලා. එදා අපි භේදයකින් තොරව හතළිහට ගත්තා. ඒ වගේම පාසල් දරුවන්ගේ නිලඇඳුම්වලට හොඳ කාර්යයක් නොවේ කරල තියෙන්නේ. සල්ලි දෙන එක නෙවෙයි ඒ සහනයත් නැතිකරාවිය කියලා මට හිතෙනවා"
ප්‍රේමතිලක පෙරමුණ/ ජේ.සී.එම්.මද්දුමගේ