ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කරනු ලබන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාව දිය මතට දියත් කිරීම ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහි සමාරම්භක අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, වසන්තා ගුණවර්ධන මහත්මිය සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වූහ.
දිගින් මීටර් 105 ක් සහ පළලින් මීටර් 13.6 ක් වූ මෙම අති නවීන නෞකාවේ සමස්ථ ඇස්තමේන්තුගත නිෂ්පාදන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 74 ක් පමණ වේ. ටොන් 2350 ක ධාරිතාවයකින් යුක්ත නෞකාවේ හෙලිකොප්ටරයක් ද රඳවා තබා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම, මෙහි නිලධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයන් 100 දෙනෙකු සඳහා ඉඩ පහසුකම් ඇති අතර, නාවික සැතපුම් 4,500 ක ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව ද මෙම නෞකාව සතුය.