රටේ මුදල් කෝටි තිස්දහසක (30000) මුදලක් කාබාසිනියා වී ඇති බවත්, එම මුදල නැවත අයකර ගැනීමට අවශ්‍ය වූ නිසා අහිංසක ජනතාවගෙන් බඳු පැනවීමට සිදුවූ බව ක්‍රීඩා අමාත්‍ය මෙන්ම කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර මහතා පැවසීය.
කෝප් කමිටු තීරණ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ ඊයේ (01දා) පැවති මාධ්‍ය සාකච්චාවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මෙම මාධ්‍ය සාකච්චාවේදී මාධ්‍යවේදීන් විසින් දයාසිරි ජයසේකර මහතාගෙන් විමසා සිටි කරුණක් වූයේ, බැසිල් රාජපක්ෂ මහතා කියලා තියෙනවා ඉතිහාසයේ වූ ලොකුම වංචාව මේ දිනවල කථාබහක් ඇතිවී තිබෙන බැදුම්කර වංචාව කියා. මේ පිළිබඳව විදිමක් පරීක්ෂණයක් විය යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටින බවයි.
"ඉතිහාසයේ වෙච්ච ලොකුම වංචාව නම් මේක වෙන්න විදයක් නැහැ. මීටත් වැඩිය තව වංචාවල් ගණනාවක් සිද්ධ වුණා. එතුමාට අපිට කියන්න තියෙන්නේ මේක කම්මල ඇතුලේ ඉන්න බල්ල වගේ තත්ත්වයක් දැන් වෙලා තියෙන්නේ කියලා. ඒ කාලේ වුණ දේවල් තිබෙනවා කෝටි ප්‍රකෝටි ගණන්. උතුරේ පාරවල්ගැන මම අහපු ප්‍රශණවලට දුන්න උත්තර හොයලා බැලුවනම්, කෝප් කිමිටුවට නෙමෙයි හිරේ ඉන්න ඕන කට්ටිය. ඒනිසා මේකත් එක හොරකමක් තමයි. මේවගේ හොරකම් ගණනාවක් සිද්ධ වුණා.
ගියපාර පාර්ලිමෙන්තුවේදී ආයතන 19ක් ගැන අපි කථාකලා. ඒ ආයතන 19 තිබෙනවා කෝටි තිස්දාහක් (30000). ඉන් ආයතන පහක තිබෙනවා රටට අහිමි වුණ මුදල්. මේ ගණුදෙනු වලින් කෝටි ගණනක් අපිට අහිමිවෙලා තියෙනවා. මේ සල්ලි ටික රටට ආවනම් වැට් බද්ද ගහන් නැතුව රටේ ජනතාව බේරගන්න තිබුණා. නමුත් ජනතාවගේ මුදල් කාබාසිනියා කළ නිසා තමයි රටට නැවත මුදල් හොයන්න වෙලා තිබෙන්නේ. නැතිනම් වැට් එකක් ගහන්න ඕන නැහැ අහිංසක ජනතාවගේ කර මතට" " යැයි පිළිතුරු වශයෙන් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දූෂණ වංචා සම්බන්ධයෙන් තීරණ ලැබීම ප්‍රමාදවීම පිළිබඳවද කථාකළ අතර, එහිදී හෙතෙම අනාවරණය කළ කාරණයක් වූයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්ණ පිළිබඳව සොයා බැලීමට විශේෂ අධිකරණයක් පිහිටුමේ ක්‍රියාදාමයකට ලගදීම යා යුතුයි කියා තමන් විස්වාස කරන බවයි.
"නඩු කල්යන එක ගැන දෙපැත්තටම බැණ බැණ ඉන්න එක විතරයි වෙලා තිබෙන්නේ. අපිටත් වෙන වැඩක් කරන්න නැහැ, උදේ ඉදන් රෑ වෙනකම් මේවට උත්තර දිදී ඉන්න වෙලා තියෙන්නේ. විපක්ෂයේ අයටත් හැමදාම උසාවිගානේ ගිහින් මොනවාහරි කියන්න වෙනවා. එමනිසා නඩු ප්‍රමාදය වැනි කරුණු නිවැරදි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි"යැයි පැවසීය.