නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා බෙදාහැරීම වැළැක්වීමේ ඒකකය නමින්, නීති විරෝධී මත්පැන් වැටලීම සඳහා වූ නව ඒකකයක් මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර තිබේ.
නීති විරෝධී ලෙස ආනයනය කෙරෙන විදේශීය මත්පැන් අලෙවි කිරීම, නීති විරෝධී මත්පැන් අලෙවි කිරීම සහ රජයේ අනුමත මත්පැන් නීති විරෝධී ලෙස අලෙවි කිරීම වැළැක්වීම මෙම ඒකකයේ ප්‍රධාන කාර්යභාරය බවත්, මෙරටට වාර්ෂිකව අහිමි වෙමින් තිබූ විශාල සුරා බදු ආදායමක් මේ යටතේ රජයට අයකර ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරෙන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, එහි පළමු වැනි මෙහෙයුම ලෙස වෙන්නප්පුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ නීති විරෝධී ස්කාගාරයක් වැටලීමට සමත්ව තිබේ. පසුගියදා සිදුකළ මෙම වැටලීමේදී ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ රැසක්ද සොයා ගැනුණු බවත් එම ඒකකයේ ප්‍රධානී ගුවන් කොමදෝරු රවී ජයසිංහ මහතා පවසයි. වසර දහයකට අධික කාලයක් තිස්සේ මෙම නීති විරෝධී මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබේ.
මෙම ඒකකය සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින නිලධාරීන් පිරිසක් සේම විශේෂ වැටලීම් සඳහා පුහුණුව ලත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පිරිසක්ද සම්බන්ධ වී සිටින බව මුදල් අමාත්‍යාංශය කියයි. ඉදිරියේදී මෙවැනි වැටලීම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවත්, ජනතාවට සෘජුව මෙම ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් රවී ජයසිංහ මහතා වැඩිදුරටත් පවසයි.