මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ වත්තල නගර සීමාව තුළ පවතින රථවාහන තදබදයට විසඳුමක් සෙවීමේ අරමුණින් වත්තල නගර සීමාව තුළ වාහන එක් දිශාවකට පමණක් ධාවනය කරවීමේ පෙරහුරුවක් අද (28දා) පෙරවරු 6.00 සිට දවස පුරා ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිට මාර්ග පරිහරණය කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව අද දින මීගමුව සිට කොළඹ දෙසට ධාවනය වන රථවාහන වත්තල නිල්මිණි හන්දිය අසලින් වමට හරවා, පරණ මීගමු පාර ඔස්සේ ගමන් කර, අල්විස් ටවුම අසලින් නැවත ප්‍රධාන පාරට වැටී කොළඹ දෙසට ධාවනය කරවීමට කටයුතු යොදා ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වන වාහනවලට අල්විස් ටවුම හන්දිය සිට නිල්මිණි හන්දිය දක්වා මංතීරු දෙකම භාවිත කරමින් ගමන් කළ හැකි බවයි.
පරණ මීගමුව පාර වෙත විවෘත වන හුණුපිටිය පාර, කුඩා ඒදණ්ඩ පාර සහ ශාන්ත අන්තෝනි පාර මගින් පරණ මීගමු පාරට ඇතුළු වන වාහන දකුණට හැරවීමට තහනම් කර ඇති බවත්, එම වාහන වමට හැරී කොළඹ දෙසට ධාවනය කර, අල්විස් ටවුම හන්දියෙන් මීගමුව දෙසට ධාවනය කළ හැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නිල්මිණි හන්දිය හා අල්විස් ටවුම හන්දිය අතර ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, වෙළෙඳ සැල් හා ඉන්ධන පිරවුම්හල් වෙත මීගමුව දෙසින් පැමිණෙන වාහන සියල්ලද, ඉහත පරිදි නිල්මිණි හන්දියෙන් පරණ මීගමුව පාර භාවිත කොට අවශ්‍ය ස්ථාන වෙත පැමිණිය හැකි බවයි.