දූෂණ විරෝධී හඬින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්
මෙරට වකුගඩු රෝගීන්ට අවශ්‍ය සී.ටී. ස්කෑන් යන්ත්‍ර සහ ලේ පිරිසුදු කිරීමේ යන්ත්‍ර ලබාගැනීමට ජපන් රජයෙන් පරිත්‍යාග වශයෙන් ලබාදුන් රුපියල් මිලියන 770 ක ප්‍රමාණයෙන් මිලියන 470ක මූල්‍ය වංචාවක් සහ මධ්‍යම පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 500 ක වංචාවක් සිදුකර තිබෙන බවත්, මේ පිළිබඳව සොයා බලන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ (01දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබිණ.
ජපන් ආධාර ලෙස ලැබුණු මුදල් උපයෝගී කරගෙන මිලදී ගෙන තිබෙන්නේ රුපියල් මිලියන 240 ක් වටිනා සී.ටී. ස්කෑන් යන්ත්‍ර 06 ක් සහ රුපියල් මිලියන 60ක් වටිනා ලේ පිරිසුදු කිරීමේ යන්ත්‍ර 50 ක් පමණක් බවද එම සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
මෙම පැමිණිල්ලට අමතරව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය උපකරණ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 500 ක මූල්‍ය වංචාවක් සිදුවී තිබෙන බවත්, මේ මූල්‍ය වංචාව පිළිබඳවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ බවද පවසා සිටියේය.
ජපන් ආධාර යටතේ උපකරණ මිලදී ගෙන තිබෙන්නේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු බවත්, ඔහු උපකරණ මිලදීගත් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන බවද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව එම සමාගමේ ලියාපදිංචි ලිපිනය වී තිබෙන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට අයත් ගොඩනැගිල්ලක ලිපිනයක් බවත්, මේ නිසා මෙම සියලුම කරුණු පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය. එසේ නොකළහොත් දුෂණයට, වංචාවට විරුද්ධ ජනතාව සමග පැමිණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වටලන බවද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.