රුපියල් මිලියන පහළොවක මූල ධනයක් මත අයථා අයුරින් පිහිටුවන ලද ආගමික හා සමාජ සේවා පොදු භාරය එම මූල ධනය ඉක්මවා යමින් රුපියල් මිලියන තුන්සියයකට අධික ගෙවීම් (හරශේෂ මත) සිදුකර ඇතැයි රජයේ විශේෂ විගණනයකින් හෙළි වූ බව මහා භාරකාරවරිය වන නීතිඥ තරංගනී කීනවින්න දිසානායක මහත්මිය පැවසුවාය.
පසුගිය ආණ්ඩු සමයේදී, එනම් 2010 වර්ෂයේදී අක්රිය භාර කිහිපයක් එක්කර පිහිටුවා ඇති එම භාරය අයථා අයුරින් පිහිටුවූවක් බවට නීතිපතිවරයාද ප්රකාශ කර ඇතැයි ඇය සඳහන් කළාය.
මේ වනවිට එම භාරය අක්රිය කිරීමට කටයුතු කර ඇති බවත්, එලෙස අයථා අයුරින් පිහිටුවා තිබූ ආගමික හා සමාජ සේවා පොදු භාරයේ කටයුතු සඳහා පත්කර තිබූ නිලධාරීන්ද සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් මහා භාරකාරවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
2015 ජූලි මස 31 වැනි දින වනවිට මහා භාරකාර දෙපාර්තමේන්තුව සතුව රුපියල් මිලියන 840 ක භාර, රුපියල් මිලියන 570 ක බූදල්, රුපියල් මිලියන 382 ක විදේශ වන්දි සහ රුපියල් මිලියන 264 ක විහාර වන්දි ලෙස වත්කම් පැවැති බවත්, තමා පත්වූ පසු රජයට රුපියල් මිලියන 10 ක ආදායම්ද ගෙවීමට හැකි වූ බවත් දිසානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.