පිස්තෝලයක් අතැතිව සිටි යුද හමුදා සෙබළුන් තිදෙනෙකු සමග අත්අඩංගුවට පත් වූ 'සුදු වෑන් රථය' පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව යුද හමුදාව සඳහන් කරයි.
මිරිහාන පොලීසියේ අත්අඩංගුවට පත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළුන් තිදෙනා පිළිබඳව යුද හමුදාව විශේෂ පරීක්ෂණයක් සිදුකරගෙන යන බව වැඩබලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්රි‘ගේඩියර් ජයනාත් ජයවීර මහතා ඊයේ (22දා) ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට පවත්වන අවස්ථාව වනවිට ඔවුන් යෙදී සිටියේ රාජකාරි ගමනකද, නොඑසේ නම් පෞද්ගලික ගමනකද යන්න පිළිබඳවත්, මේජර් ජෙනරාල්වරයාගේ පෞද්ගලික ගිනිඅවිය (පිස්තෝලය) එම ගමනට යොදාගත්තේ කුමන කාරණයක් සඳහාද යන්න පිළිබඳවත් එහිදී විමර්ශනය කෙරෙන බව ඒ මහතා පැවසීය.
අත්අඩංගුවට පත් වූ හමුදා සෙබලුන් තිදෙනා දේශපාලඥයෙකුගේ ජීවිතයට තර්ජන එල්ල කිරීමට ගොස් ඇතැයි පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්රි‘ගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසා සිටියේය.
හෙතෙම මේ බව පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා වසර 15 ක් තිස්සේ පරිහරණය කරන මෙම ගිනිඅවිය සාමාන්‍ය‘යෙන් ඔහුගේ ආරක්ෂකයන් අත තබන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට රාජකාරි කටයුතු සඳහා යන අවස්ථාවේදී පමණක් වුවද, රාත්‍රී 7.30 ට පමණ පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් සෙබළුන් තිදෙනා සතුව එම ගිනිඅවිය තිබුණේ කෙසේද යන්න විමර්ශන කරමින් සිටින බවද ජයවීර මහතා පවසා සිටියේය.
යුද හමුදාව නිකුත් කළ යුහ 59466 නමැති අංක තහඩුව ඉවත් කර කොල්ලුපිටිය ප්‍ර‘දේශයේ පෞද්ගලික ඉදිකිරීම් සමාගමකට අයත් වාහනයක අංක තහඩුවක් ප්‍රසන්න ද සිල්වා මහතාගේ ආරක්ෂකයන්ට ගමන් කිරීමට තිබූ වෑන් රථයේ සවිකර තිබුණේ කෙසේද යන්න පිළිබඳවද සොයාබලන බව හෙතෙම සඳහන් කළේය.
යුද්ධයේ අවසන් සටනේදී 55 වැනි සේනාංකයට අණදෙමින් වැදගත් කාර්යභාරයක් ඉටුකළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා, 1982 දී යුද හමුදාවට බැඳුණු පසු මේ දක්වා විනය විරෝධී කටයුත්තක් සිදුකර නොමැති බවත්, මෙම පිස්තෝලය හෝ වෑන් රථය එවැනි කටයුත්තකට යොදාගත් බවට වාර්තා නොවන බවත් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.
පොලිස් අත්අඩංගුවට පත් සෙබළුන් තිදෙනාද මෙතෙක් එවැනි විනය විරෝධී කාර්යයක යෙදී නොමැති බවද ඔහු පැවසීය.මේ වනවිට අත්අඩංගුවට පත් හමුදා සෙබළුන් තිදෙනා යුද හමුදා පොලීසිය භාරයේ ප්‍රශ්න කිරීම්වලට ලක්වන බවත්, ඊයේ දිනයේදී මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා මිරිහාන පොලිස් ස්ථානයට ගොස් ප්‍රකාශයක් ලබාදුන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අදාළ සෙබළුන් තිදෙනා විනය විරෝධී කාර්යයක් කර ඇති බවට ඔප්පු වුවහොත් ඔවුන් භාරව සිටි නිලධාරියා ඊට වගකිව යුතු බවත්, ඔහුට අවශ්‍ය දඬුවම් ලබාදෙන බවත් කී බ්රි‘ගේඩියර් ජයනාත් ජයවීර මහතා, දේශපාලඥයෙකුගේ ජීවිතයට තර්ජන එල්ල කිරීමට මෙම සෙබළුන් ගොස් ඇතැයි පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බවද පවසා සිටියේය.