ශ්‍රී ලාංකික සරණාගතයින් 54 දෙනෙකුද ඇතුළුව සරණාගතයින් 65 දෙනෙක් රැගෙන ඔස්ට්‍රේලියාව බලා පිටත්වූ මිනිස් ජාවාරම්කරුවන්ට ඔවුන් ගමන්ගත් නැව ආපසු හරවා යැවීමට එම ජාවාරාම්කරුවන්ට මුදල් ගෙවූ බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී යොමු ප්‍රශ්නයකට පිළිතුරු දීමට අග්‍රාමාත්‍ය ටෝනි ඇබෝට් හා ඔහුගේ කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඊයේ (15දා) වාර්තා කළේය.
විදෙස් මාධ්‍ය මීට ඉහතදී වාර්තා කළේ මෙම මිනිස් ජාවාරම්කරුවන් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු නාවික හමුදාව එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 5000 බැගින් ගෙවූ බවයි.
“රජයේ මෙහෙයුම් තොරතුරු හේතුවෙන් මේ සඳහා අදහස් ප්‍රකාශ නොකරනවා* යැයි අග්‍රාමාත්‍ය ඇබෝට් පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
සරණාගත පිරිස මේ වන විට නවසීලන්තයේ උපකාර අපෙක්ෂාවෙන් ඉන්දුනීසාවේ දූපතක රැදී සිටින අතර ඉන්දුනීසියාවේ විදේශ කටයුතු ඇමතිනී රෙට්නෝ මාර්සුඩීද වාර්තාවන තොරතුරු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ස්ථාවරත්වය විමසා ඇත.
ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිනී ජූලියා බිෂොප් හා ආගමන විගමන අමාත්‍ය පීටර් ඩුටොන් පසුගිය සතියේදී අදාළ වාර්තා ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඇමතීනි බිෂොප්ද පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ "මම මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නෑ" යනුවෙනි. එසේම අමාත්‍ය පීටර් ඩුටොන්ද පවසා ඇත්තේ "බෝට්ටු නතර කරන්න මේ රජයට ශක්තිය තියෙනවා" යනුවෙනි. කෙසේ වෙතත් විපක්ෂයේ ටොනී බූරිකි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තනි වචනයේ පිළිතුරකින් මෙම ගැටලුව අවසන් කළ හැකි බවයි.