මැලේසියාවේ විශාලතම කෘෂිකර්මාන්ත ආයතනයක් වන සයිම් ඩර්බි (Sime Darby Plantation)ආයතනය රැකියා 5000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි විදේශ රැකියා ඒජන්සි සමාගමේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න මහතා හා සයිම් ඩර්බි ආයතනයේ අප සභාපති නජිබ් වහාබ් මහතා විසින් ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් තබන ලදී. ඒ අනුව මුල් අදියරෙහි රැකියාලාභීන් 500කට මැලේසියාවේ රැකියා අවස්ථා හිමිවේ.
මෙම 500 දෙනා තෝරාගෙන ඇත්තේ 800 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයකට සහභාගි කරවීමෙනි. තෝරාගත් 500 දෙනා පිරිමි ශ්‍රමිකයෝ වෙති. ඔවුන්ට ගුවන් ටිකට්පත් නොමිලේ ලබාදෙන අතර, ඉතා ඉක්මනින් ඔවුන් රැකියා සඳහා පිටත් කරන බව ශ්‍රී ලංකා විදේශ රැකියා සමාගමේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න මහතා එහිදී ප්‍රකාශ කළේය. රුපියල් 55,000 ට වඩා වැඩි වැටුප් හිමිවන මෙම රැකියා මැලේසියාවේ කෘෂිකර්මාන්ත අංශයේ ආශ්රිත රැකියා වේ. විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදි, ඉතිරි රැකියා අවස්ථාවද කඩිනමින් ගෙන්වාගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
විදේශ රැකියා ඒජන්සි සමාගම මගින් ඉදිරියේදී නව රැකියා වෙළෙඳ පොළ රැසක් කෙරෙහි අවධානය යොමුකොට තිබෙන අතර, ඒ සඳහා අමාත්‍යවරියගේ උපදෙස් පරිදි කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පසුගිය වසරේ මැලේසියාවේ සංචාරය කළ අතර, එහිදී එරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා කළාය. ඒ අනුව, ලාංකික ශ්‍රමිකයන්ට මැලේසියාවේ ඉතා හොඳ රැකියා වෙළෙඳ පොළක් නිර්මාණ වී ඇති බව අවබෝධ කරගැනීම නිසා මෙරට ශ්‍රමිකයන්ට ඒ සඳහා වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙසද ඇය ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.
2015 වර්ෂයේදී මැලේසියාවේ රැකියා සඳහා ලාංකිකයන් 3,234 දෙනෙකු පිටව ගොස් තිබේ.