මැර බලයට ජන මතය යටපත් කිරිමේ හැකියාවක් නැති බවත් දූෂිත පාලනය ඉවත් කිරීමට රටේ ජනතාවගෙන් බහුතරයක් එක්ව තිබෙන බවත් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
පැල්මඩුල්ල ජන රැළියට එල්ල වූ ගල් ප්‍රහාරය පිළිබඳදව අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දැක්විය.
"මෙයින් පෙනී යන්නේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය මැතිවරණ නීති රකින ආකාරයයි. මෙලෙස මැර බලය රාජ්‍ය බලය ජන බලය භාවිත කර ජන මතය යටපත් කිරීමට හැකියාවක් නැහැ. මේ වන විටත් දූෂිත පාලනය ඉවත් කිරීමට 75% ට වැඩි ජනතාවක් පෙළගැසී හමාරයි" යැයි හෙතෙම සඳහන් කළේය.
පැල්මඩුල්ල බස් නැවතුම්පොල අසළ අද (02දා) රාත්‍රී 8.15 ට පමණ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවති ජන රැලියට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ අතර රැලියට සහභාගීවූ පිරිසකට තුවාල සිදුවී තිබෙන බව පොදු අපෙක්ෂක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
"රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන රැළි රාශියකට අද මං සහභාගි වුණා. පැල්මඩුල්ල ප්‍රදේශයේ 20,000 කට වැඩි ජනතාවක් සහභාගී වූ ජනහමුවේදී ජනතාව අමතමින් සිටින අවස්ථාවේදී ගල්මුල් ප්‍රහාරයක් වේදිකාව වෙතට එල්ල වුණා.” යැයි හෙතෙම තවදුරටත් පැවැසීය.