දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන පින්නදූව සිට දෙවට දක්වා වූ මාර්ගය දෙපස ඊයේ (07දා) පැවැති මැයි රැලියට සහභාගි වූ පිරිස් අපද්‍රව්‍ය දමාගොස් තිබුණද, ඒවා ඉවත් කිරීමට කටයුතු කර නැතැයි දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ ද සිල්වා මහතා දකුණු පළාත් සභා රැස්වීමේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමත් සමග පළාත් සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
දකුණු පළාත් සභාව එහි සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධනත්වයෙන් අද (08දා) උදෑසන රැස්විණි.
එහිදී අදහස් දැක්වූ ආශෝක ධනවංශ මහතා පවසා සිටියේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමට දිවෙන පින්නදූව හා දෙවට අතර මාර්ගය දෙපස අපද්‍රව්‍ය දමාගොස් ඇති අතර, එහි බහුලව ආහාර අපද්‍රව්‍ය පවතින බවත්ය.
මෙම ආහාර අපද්‍රව්‍ය පෙරේදා (07දා) පැවැති මැයි දින රැලියට සහභාගි වීමට පැමිණි පිරිස් විසින් දමාගොස් ඇති බවට විශ්වාස කරන බවත්, එම මැයි රැලිය පැවැත්වූ අදාළ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පළාත් සභාව අවසන් වීමෙන් පසුව ගොස් එම අපද්‍රව්‍ය පිරිසුදු කර දීමට හැකියාව ඇති බවත් අශොක් ධනවංශ මහතා පවසා සිටියේය.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ, වීරසුමණ වීරසිංහ, ආරියවංශ සම්මු, චන්න සාලිය මෙන්ඩිස්, ඩී.වී. උපුල් යන මහත්වරු අශෝක ධනවංශ මන්ත්‍රීවරයාට දැඩි විරෝධය පළකළහ.
අශෝක ධනවංශ මහතාගේ සහායට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂ නායක තන්නකෝන් නිළමේ, ටී.වී.කේ. ගාමිණී, චන්දන ප්‍රියන්ත, සුමනසිරි ලියනගේ යන මහත්වරුන් අදහස් දක්වීමට යෑමත් සමග සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන් පවා සිටියේ, මැයි දිනය අවසන් වී පැය විසිහතරක් යෑමට පෙර සියලු අපද්‍රව්‍ය ඉවත් කළ බවත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබූ සියලු අපද්‍රව්‍ය අක්මීමන හා හබරාදූව ප්‍රාදේශීය සභා සහ ගාල්ල මහනගර සභාව එක්ව ඉවත් කිරීම් සිදු කර අවසන් කර ඇති බවත්ය.