ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය විසින් මාස 21ක මෙහෙයුමක් ක්‍රියාවට නැංවීමට සැලසුම්කොට තිබේ.
ඒ සඳහා වන දේශීය යාන්ත්‍රණය සකස් කිරීමට කමිටුවක් පත්කොට තිබෙන බවත්, එහි සැකිල්ල සකස්කිරීම 2015 වසරේ ඔක්තෝබර් මස මැද සිට ආරම්භ කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.
සැකැස්ම සකස්කිරීමට සියලු පාර්ශ්ව හා සාකච්ඡා කරන බවත් ඒ අනුව අවසන් තීන්දුව එළඹෙන 2016 වසරේ ජනවාරි මාසයේදී ගන්නා බවත්, අවසන් යාන්ත්‍රණය මාස 18ක් ඇතුළත ක්‍රියාවට නංවන බවත් ඔහු සඳහන් කළේය. දේශීය යාන්ත්‍රණය සැකසීමේදී එය විදේශයන් සතුටු කිරීමට හෝ ඔවුන්ගේ බලපෑමට යටත්ව සිදුනොකරන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසීය.
යාන්ත්‍රණය සකස් කිරීමේදී ප්‍රධාන කරුණු හතරක් පිළිබඳව අවධානය යොමුකරන බවත් ඔහු සඳහන් කළේය. සත්‍ය ගවේෂණයට ව්‍යවස්ථාවෙන් යාන්ත්‍රණ දෙකක් සකස් කිරීම, යුක්තිය පසඳලීමට විශේඥයන්ගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම, වන්දි සඳහා වන අයිතිය ලබාදීමට වෙනමම කාර්යාලයක් ස්ථාපිත කිරීම, අතීතයේ ඇත් වූ තත්ත්වයන් නැවත ඇතිනොවීමට විශේෂ නීති ඇතුළත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීම එම ප්‍රධාන කරුණු හතර වෙයි.
කෙසේ වෙතත් මෙම යාන්ත්‍රණය සකස් කිරීමේදී විදේශයන්ගේ උපදෙස් හා තාක්ෂණික සහාය ලබාගැනීමට ලක් රජය සූදානම් බවද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසීය.
"මේක හැරෙන්න වෙනත් විකල්පයක් නෑ කියන ප්‍රබල විශ්වාසය ඇති බව අපි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා” යැයි ඔහු සඳහන් කළේය.
පෙරේදා එළිදැක්වූ වාර්තාවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මිශ්‍ර වූ හයිබ්‍රිඩ් අධිකරණයක් පිළිබඳව යෝජනා ඉදිරිපත් කර තිබුණ අතර ඒ පිළිබඳව රජයේ අදහස් ප්‍රකාශ කරමින් ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති බවත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත්ය.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් නීතිය ක්‍රියාත්මකවීම කෙරෙහි පසුගිය කාලසීමාවේදී ජාත්‍යන්තරයට මෙන්ම ශ්‍රී ලංකා ජනතාවටද විශ්වාසයක් නොතිබූ බව සෑමදෙනෙකුම පිළිගත යුතු බවත් ඔහු පැවැසීය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හයිබ්‍රිඩ් අධිකරණය යෝජනා කර තිබෙන බව සඳහන් කළේය. කෙසේ වෙතත් වත්මන් රජය මේ වනවිට අධිකරණ පද්ධතිය ස්වාධීන කිරීමේ කටයුත්ත ආරම්භකර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
පරීක්ෂණය අවසන් වූ වහාම එහි චූදිතයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටුනොකර ජාත්‍යන්තරය නොමග යවපු නිසා 2014දී මානව හිමිකම් කොමිසම යුද අපාරාධ පරීක්ෂණයක් කිරීමට තීන්දු කළා. එය මාර්තු මාසයේ එළිදැක්වීමට නියමිතව තිබුණා. නමුත් මේ සඳහා දේශීය යාන්ත්‍රණයක් සකස් කරන තෙක් එම වාර්තාව 30 වැනි සැසිවාරය දක්වා කල්දමන ලෙසට සෙයිද් කුමරුට (මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු) අපි පැවැසුවා. දින 100 වැඩසටහනේදීත් අපි කිවුවේ ස්වාධින දේශීය යාන්ත්‍රණයක් ඇති කරනවා කියලයි.
පසුගිය මාර්තු මාසයේදී මේ වාර්තාව එළිදැක්වූවානම් එහි ස්වභාවය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඇතැම් අය මේකේ නම් ලැයිස්තු පිටින් තියෙනවා කිවුවා. ඒත් එහෙම නම් කිසිවක් නෑ. මේ වාර්තාවෙන් හමුදාවේ කීර්තිනාමය ආරක්ෂා කරගැනීමට හැකිවුණා. දකුණු ආසියාවේ හිටපු විනයානුකූල හමුදාව පසුගිය කාලයේ ඉහළින් ආපු නියෝග ක්‍රියාත්මක කිරීමට ඇතැම් නිලධාරීන් කටයුතු කළ නිසා හමුදාවේ කීර්තිනාමය නැති වුණා. මේ කීර්තිනාමය නැවත ලබාගැනීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.
හමුදාවේ වැරදි කළ අයට අතීතයේදීත් පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මනම්පේරි ඝාතනය, ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය ගැන පරීක්ෂණ ඒ සඳහා උදාහරණයි. අපේ හමුදා මාලි රටේ සාමසාධක හමුදාවට එක්කරගන්න එක්සත් ජාතීන්ගේ කැමත්ත ලැබී තිබෙනවා.
මේ වගේ සාර්ථකත්වයක් අපට ලබාගැනීමට හැකිවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ඇතික කළ අලුත් සංස්කෘතිය නිසයි. රටේ ප්රජාතන්ත්රවාදයේ පරිවර්තනය ගැන ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ලැබී තිබෙනවා. ඒ නිසා මානම හිමිකම් කවුන්සිලයේදී අපට සහයෝගය දක්වමින් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
මහින්ද රාජපක්ෂ මහත්තයා විදුලි පුටුවට යන එක නැවැත්තුවේ අපි. අපේ නීති පද්ධතිය ස්වාධීනයි කියලා කාටවත් ඇඳුම් ඇඳගෙන කියන්න බෑ. නාමල් බබා නීති විභාගයට ලියපු හැටි කවුරුත් දන්නවා. විනිසුරුවරුන් පත්කළේ ජනපතිගේ උවමනාවට. 18 න් (ව්‍යවස්ථා සංශෝධනය) අගමැති මැදමුලනේ කටු හැර අනෙක් දේවල් ලෙවකන පුද්ගලයෙක් බවට පත් කළා.
නීති පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.අවසන් තීන්දුවක් සියලු දෙනා එක්ව කාතා කර ගන්නවා. ශ්‍රී ලංකාවට වෙනමම මානව හිමිකම් කාර්යාලයක් අවශ්‍ය නෑ. දැන් තිබෙන එක්සත් ජාතීන්ගේ කාර්යාලය පහසුකම්වලින් සමන්විත කිරීම ප්‍රමාණවත්." යැයි පැවැසීය.