මෙරට තුළ සිදුකරන නීතිමය ක්‍රියාමාර්ගවලට අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට නොපැමිණෙන්නේ නම් ඔහු මෙරටට ගෙන්වා දීම අගමැතිවරයාගේත්, හිටපු මුදල් ඇමතිවරයාගේත් වගකීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ජාත්‍යන්තර පොලීසියේ සහයෝගය ලබාගෙන හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව තිබෙන බවද එම පක්ෂයේ ජාතික සං‘විධායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේය.
ඊයේ (06දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අධිකරණයකදී සැකකරුවෙකුට ඇප ලබාදෙන පුද්ගලයා ලබාදෙන සහතිකයට සමාන ආකාරයට හිටපු අගමැතිවරයාත්, හිටපු මුදල් අමාත්‍යවරයාත් සහතික වෙමින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කර තිබෙන බවයි.
හිටපු මහ බැංකු අධිපතිවරයා තනතුරට පත්වන අවස්ථාවේ ලබාදිය යුතු දිවුරුම්ප්‍රකාශය හෝ සිදුකර නොමැති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මහේන්ද්‍රන් මහතාටඅධිකරණ නියෝගයක් ලබාදී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා අත්අඩංගුවට ගැනීම වළක්වාගැනීම සඳහා ඔහු නීතියේ පිහිට පතන බවට වාර්තාවන බවත්, සිදුවිය යුත්තේ නීතියේ පිහිට පැතීම නොව මෙරටට පැමිණ අවශ්‍ය ප්‍රකාශය ලබාදීම බවත් ඒ මහතා සඳහන් කළේය.
මහේන්ද්‍රන් මහතා ලංකාවට නොපැමිණෙන්නේ නම් ඔහු ලංකාවට ගෙන්වා දීම අගමැතිවරයාගේත්, හිටපු මුදල් අමාත්‍යවරයාගේත් වගකීමක් බවද හෙතෙම පවසා සිටියේය.