හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින හමුදා සෙබළුන් 50 දෙනා අදියර දෙකක් යටතේ ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මේ අනුව අද (03දා) දිනයේදී සාමාජිකයන් 25 දෙනෙකුද, හෙට (04දා) දිනයේදී සාමාජිකයන් 25 දෙනෙකුද ඉවත් කිරීමට නියමිතය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයන් සියදෙනාගෙන් 50 දෙනෙකු මීට මාසයකට පමණ පෙර ඉවත් කිරීමට කටයුතු කළේය.
ඉතිරි හමුදා සාමාජිකයන් 50 දෙනා මීට සති දෙකකට පෙර ඉවත් කිරීමට සැලසුම් කර තිබූ අතර, එහෙත් නැගුණු විරෝධය හමුවේ එම තීරණය වෙනස් කරනු ලැබිණි. අද සහ හෙට දිනයේදී ඉවත් කිරීමට සැලසුම් කර සිටින කණ්ඩායමට යුද හමුදා බ්රි‘ගේඩියර්වරයෙකු, ලුතිනන් කර්නල්වරයෙකු ඇතුළුව ඉහළ පෙළේ සාමාජිකයෝ රැසක්ද අයත් වෙති.
මහින්දගේ ආරක්ෂාව සඳහා සිට ඉවත්කරන හමුදා සාමාජිකයන් වෙනුවට ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව විශේෂ පුහුණුව ලද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා සෙබළුන් 50දෙනෙකු අනුයුක්ත කිරීමට නියමිතව තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් ඉවත් කරන්නේ ජනාධිපති,අගමැති ඇතුළු සියලුම ප්‍රභූන් වෙනුවෙන් ආරක්ෂාව සැපයීමේ කාර්යය විශේෂ කාර්ය බළකායේ සෙබළුන් විසින් පමණක් සිදුකළ යුතුබවට ආරක්ෂක අමාත්‍යාංශය ගත් ප්‍රතිපත්ති තීන්දුවක් මතය.